මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න - ජනපති
August 25, 2025 05:01 pm
රජය නිසි පරිදි අදාළ අමාත්‍යාංශ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර තිබියෙදී ඒවා නිශ්චිත කාලයක් තුළ නිසි පරිදි උපයෝජනය නොවන්නේ නම් එය ගැටලුවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී ඇත.
නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම්වලදී මෙන්ම, නාගරික සැලසුම්කරණයේදීද අදාළ ප්‍රදේශයේ ජනතා අදහස් සහ වුවමනාවලට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ආණ්ඩු තම හිතුමතේ සිදුකර ඇති ඉදිකිරීම් නිසා මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල භාවිතයට නොගන්නා සහ ඌණ-උපයෝජනයක් සහිත රජයේ ගොඩනැගිලි ඉදි වී ඇති බව පවසා තිබේ.
නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වින.
එහිදි අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
නාගරික සහ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති, නාගරික සංවර්ධන ව්‍යාපෘති, නගර සැලසුම් ව්‍යාපෘති, කසළ කළමනාකරණ සහ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති, ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘති ආදිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙම අංශවලට අදාළව දිවයිනේ සෑම පළාතකම ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය ද ජනාධිපතිවරයා විමසා බැලු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පසුගිය කාලයේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කළ පාලම් ව්‍යාපෘති 18ක් අතරමඟ අතහැර දමා තිබෙන බවත්, එම ඉදිකිරීම් නිසා තාවකාලිකව භාවිතා කරන මාර්ග මේ වන විට මඩවගුරු බවට පත්වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් පීඩාවට පත්ව ඇති බවත් මෙහිදී අනාවරණය වී ඇත.
එම ව්‍යාපෘතිවලට අදාළ ඉදිකිරීම් අවසන් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා අවම වශයෙන් අත්‍යවශ්‍ය පාලම් 05ක ඉදිකිරීම් මේ වසරේ අවසන් කිරීමට කටයුතු කරන ලෙසට උපදෙස් දී තිබේ.
විශේෂයෙන්, චීන සහ ඉන්දියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, උතුරු සහ නැගෙනහිර නැවත පදිංචිකිරිම්වලට අදාළ නිවාස ව්‍යාපෘති මේ වසරේ අවසන් කිරීමට හැකි බවට නිලධාරීහු මෙහිදී අපේක්ෂා පළ කළ බව සඳහන් වේ.
මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින “හෝමාගම ටෙක් සිටි” ව්‍යාපෘතියට අදාළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ “පොළොන්නරුව පරිපාලන සංකීර්ණයේ” ඉදිකිරීම් කටයුතු සහ “සිටි බ්‍රෑන්ඩින්ග් ව්‍යාපෘතියේ” වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී විමසා බැලිණි.
දැනට නාගරික ජනතාව වෙත ලබා දී ඇති මහල් නිවාස ඔවුන් වෙත පවරා දීමේදී මතු වී ඇති ගැටලු පිළිබඳවද සාකච්ඡා කෙරණු අතර, අබලන් නිවාස ඔවුන් වෙත පවරා දීම වෙනුවට, ඒවා ප්‍රතිසංස්කරණය කර ලබා දීමේ වැදගත්කමත්, එසේ ලබා දුන් පසු ඒවා නඩත්තු කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
එසේම, අර්ධ නාගරික ප්‍රදේශවල මහල් නිවාස ව්‍යාපෘති සඳහා එම ප්‍රදේශවල ජනතාවගේ ඇති ඉල්ලුම සහ කැමැත්ත පිළිබඳ සොයා බැලීම සඳහා සමීක්ෂණයක් සිදු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළ බව සඳහන් වේ.
ඉඩම් අත්පත් කරගැනීම්වලට අදාළ ගෙවීම් කටයුතුවලදී මතුව ඇති නීතිමය ගැටලු පිළිබඳව මෙහිදී නිලධාරින් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලද අතර එම ගැටලුවලට ලබා දිය හැකි විසදුම් පිළිබඳ යෝජනා සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.
සම්පූර්ණ නිවේදනය පහතින්,