රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්

August 25, 2025   01:34 pm

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය යම්තාක් දුරට සතුටුදායක මට්ටමකට පැමිණ ඇති බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ පවසයි.

දැඩි සත්කාර ඒකකයේ සිටින විශේෂඥ වෛද්‍යවරු හිටපු ජනාධිපතිවරයා පිළිබඳව දැඩි අධීක්ෂණයෙන් සිටින බවත් මේ වන විට සතුටුදායක මට්ටමක සිටියද ඔහුගේ තත්ත්වය වෙනස් විය හැකි බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසුවේය.

කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ හෙට දිනයේ දී ඔහුට උසාවිය ඉදිරියේ පෙනී සිටීමේ හැකියාව පවතීන යන්න පිළිබඳව අද පස්වරුවේ වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවෙන් පසුව තීරණය කරන බවය.

එහිදී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා,
''එතුමාට ප්‍රතිකාර කරන වෛද්‍ය මණ්ඩලය මේ වෙලාවෙත් එතන ඔඩිටෝරියම් එකේ සාකච්ඡාවක් පවත්වනවා.ඒ සාකච්ඡාවෙන් පස්සේ තීරණය කරයි වෛද්‍යමය හේතුව කොයි විදියද, කොයි තත්වෙද තියෙන්නේ කියලා එතනින් පස්සේ තමයි තීරණය කරන්න වෙන්නේ එතුමාට උසාවියේ පෙනී සිටීමට හැකියාව පවතිනවද නැද්ද කියලා. එතුමා මේ වෙද්දී දැඩි සත්කාර ඒකකයේ දැඩි අධීක්ෂණය යටතේ වෛද්‍ය අධීක්ෂණය යටතේ, ඒකට කියන්නේ ක්ලෝස් සුපර්විෂන් යටතේ තබා ගැනීම සුදුසුයි කියලා තමයි අපේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ කරලා තියෙන්නේ. යම්කිසි ගුණයක් පෙන්වමින් යම් ස්ටේබල් තත්වයක් පෙන්නනවා. ICU එකේ මොනිටර් කරන එක විශේෂඥ වෛද්‍යවරු උදේ, හවස දෙකම කරන නිසා හරිම තත්වය වෙනස් වෙන්න පුළුවන්. හවස් වෙනකොට තමයි අපිට තීරණය කරන්න පුළුවන් එතුමා සුදුසු තත්වයක සිටියිද කියලා''

නිල සංචාරයක යෙදෙන බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් CID අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවනවා. 

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩු කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට යළි කැඳවීමට නියමිතය.