හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විදේශ තානාපතිවරු දැනුවත් කරයි
August 25, 2025 12:28 pm
එක්සත් ජාතික පක්ෂයේ නායකයින් පිරිසක් ඊයේ රාත්‍රියේ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් දැනුම්වත් කර තිබේ.
මෙම අවස්ථාව සඳහා ජී එල් පීරිස්, තලතා අතුකෝරාල, අලි සබ්‍රි ඇතුළු දේශපාඥයින් පිරිසක් සහභාගී වී ඇත.
එමෙන්ම මේ පිළිබඳව අනෙක් තානාපති කාර්යාල දැනුවත් කිරීම ද ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර හිටපු ජනාධිපතිවරයාට නිදහස හා හිමි ගෞරවය ලබා දෙන ලෙස කරන ඉල්ලීම්වලට සහාය පළකරමින් නෝර්වේ හිටපු විශේෂ සාම නියෝජිත එරික් සෝල්හයිම් සහ ඉන්දීය දේශපාලනඥයෙකු වන ශෂී තරූර් පණිවිඩ නිකුත් කර ඇත.
එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහා නිදහස් කරන ලෙස විවිධ පාර්ශ්ව සිදුකරන ඉල්ලීමට තමාගේ සහායද හිමිවන බව නෝර්වේ හිටපු විශේෂ සාම නියෝජිත එරික් සෝලහයිම් මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඔහු එමඟින් පෙන්වා දී ඇත්තේ 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික සහ දේශපාලනික ආගාධයෙන් රට ගොඩගැනීමට ඉදිරිපත්වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවය.
රනිල්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පදනම් විරහිත බවත්, යම් හෙයකින් ඒවා සත්‍ය වූවත් ඒවා යුරෝපයේ පවා අපරාධයක් ලෙස හෝ වරදක් ලෙස සැලකිය නොහැකි බවත් ඔහු පවසයි.
දූෂණයට එරෙහිව ශ්‍රී ලංකා රජය සිදුකරන දැවැන්ත වැඩසටහනට තමාගේ පූර්ණ සහාය හිමිවන නමුත් සැබෑ ගැටලු පිළිබඳ අවධානය තබාගන්නා ලෙස එහිදී එරික් සොල්හයිම් රජයට දැනුම් දී ඇත.
එසේම, ඉන්දීය දේශපාලනඥයෙකු වන ශෂී තරූර්ද එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවේ රඳවා ගැනීම පිළිබඳ සිය කණස්සල්ල පළ කර තිබේ.
දශක ගණනාවක් පුරා ඔහු ජාතිය වෙනුවෙන් කළ සේවය සලකමින්, හිටපු ජනාධිපතිවරයාට ඔහුට හිමිවිය යුතු ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව සලකන ලෙස එමඟින් ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත.