දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවකට බදුදීමේ සිද්ධියට අදාළ නඩුවට දුන් නියෝගය

දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවකට බදුදීමේ සිද්ධියට අදාළ නඩුවට දුන් නියෝගය

August 24, 2025   10:40 pm

කම්කරු අමාත්‍යාංශයට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක් මත බදුදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළව අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට පෙර අදාළ නඩු ගොනුව නීතිපතිවරයා වෙත යොමුකළේ ඇයිදැයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය ප්‍රශ්නකර තිබේ.

ඒ, අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ යන අයගෙන් ලබාගත් වාර්තා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ යන තිදෙනා පසුගියදා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පැමිණ ප්‍රකාශ ලබාදී තිබුණේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය කළ නියෝගයකට අනුවයි.

ඒ, නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩමක් රුපියල් ලක්ෂ 36කට බදුදී වංචා කරන ලදැයි කියන සිද්ධියකට අදාළව යි.

මෙම සිද්ධියට අදාළ නඩුව ඉකුත් 22 වැනිදා කැඳවු අතර කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ලබාගත් ප්‍රකාශ සම්බන්ධ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදි මෙම නඩුවට අදාළව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අමාත්‍ය වසන්ත සමරසිංහ යන අයගෙන් ප්‍රකාශ ලබාගැනීමට පෙර නඩුවේ විමර්ශන ගොනුව නීතිපතිවරයා වෙත යොමුකළේ ඇයිදැයි මහෙස්ත්‍රාත්වරිය කොළඹ වංචා විමර්ශන කාර්යාංශයෙන් ප්‍රශ්න කර සිටියා.

නිලධාරීන් ඊට පිළිතුරු ලබානොදුන් අතර නැෂනල් වර්කස් කොන්ග්‍රස් වෘත්තීය සමිතියේ පැවති මහ සභා රැස්වීමේදි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදුදීමනාකරුවෙකු වශයෙන් තමන් පෙනීසිටි බවට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශයක් ලබාදුන් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශ නිලධාරීන් පවසා තිබේ.

මේ අතර අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයේදී පැවසුවේ, අදාළ නඩුව ගොනු කිරීමෙන් පසු අවස්ථා දෙකකදි සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කර තිබියදී එම නියෝග ක්‍රියාත්මක නොකර අධිකරණය නොමග යවමින් පොලීසිය නීතිපති උපදෙස් අවශ්‍ය බව පවසා ඇති බවය.

මෙම නඩුව එළැඹෙන සැප්තැම්බර් 26 වැනිදා යළි කැඳවීමට නියමිතයි.