තැපැල් වර්ජකයින් සහ ඇමති අතර සාකච්ඡාවක් අද

තැපැල් වර්ජකයින් සහ ඇමති අතර සාකච්ඡාවක් අද

August 24, 2025   08:18 am

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 9ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඒ සදහා වර්ජනයේ නිරත සියලු තැපැල් වෘත්තීය සමිතිවල නියෝජිතයින් කැඳවා ඇති බවද වාර්තා වේ.

විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක වේ.

වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී ඇති අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්විය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද දිනයේ අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය. 

මේ අතර ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පැවසුවේ වර්ජනයේ නිරතව සිටි සාමාජිකයින් රැසක් මේ වන විට සේවා කටයුතු සදහා සහභාගී වී ඇති බැවින් හෙට දිනය වන විට තැපැල් සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකිවන පවතින බවය.