බොරලැස්ගමුවේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය සොයා ගනී
August 24, 2025 01:49 pm
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
එම ත්‍රිරෝද රථය තුළ තිබී කළු පැහැති ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ ජැකට්ටුවක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි නිවස වෙත පැමිණෙමින් සිටි අයෙකු ඉලක්කකර ඊයේ රාත්‍රී 12.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල විය.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස පන්සල පාරේ පදිංචි ගිහාන් දුලාන් පෙරේරා නොහොත් චොප්පේ නමින් හඳුන්වන 21 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි.
වෙඩි තැබීමෙන් ඔහු සමග පැමිණි 28 හැවිරිදි තවත් පුද්ගලයෙකුද තුවාල ලබා රෝහල්ගත කළ අතර එම තැනැත්තාගේ අතෙහි ඇඟිලි දෙකකට තුවාල සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස් මල්ලි නැමැත්තාගේ ඥාතියකු වන අතර දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ සමීපතමයකු සමග සංගීත සංදර්ශනය අතරතුර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.
එම සිදුවීමට පළිගැනීමක් වශයෙන් සංගීත සංදර්ශනය නිමවී තවත් පිරිසක් සමග මරණකරු නිවස බලා පාගමනින් පැමිණෙන අතරතුර මෙලෙස වෙඩි තැබීම සිදුකරන්නට ඇති බව පොලිසිය සැක පල කරයි.
කෙසේ වෙතත් වෙඩි තැබීමට සම්බන්ධ කිසිවෙකුත් මේවන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.