ජනාධිපති අරමුදලෙන් සබරගමුව පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ අගයයි
August 23, 2025 09:42 pm
ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ සබරගමුව පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
මෙහිදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36කි.
එහිදී සිසු දරුවන් ඇමතූ කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ රාජ්‍ය දේපළ ජනතාවගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීම රජයක වගකීම වන අතර ජනාධිපති අරමුදල මේ වන විට එම වගකීම නිසි ලෙසම ඉටු කරමින් සිටින බවය.
එමෙන්ම දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරගත් අනාගත පරපුරක් රටට අවශ්‍ය බවත්, වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිවලින් බිහි කිරීමට අපේක්ෂා කරන්නේ එවන් පරපුරක් බවත් කතානායකවරයා පෙන්වා දුන්නේය.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාද සිසු දරු දැරියන් ඇමතූ අතර දුෂ්කර ගමනකින් පසු සුවිසල් සමාජ පරිවර්තනයක් සමග රට භාරගත් වත්මන් රජය විශිෂ්ට අධ්‍යාපන පරිවර්තන යෝජනාවලියක්ද ඉදිරිපත් කර තිබෙන බවත්, එම අධ්‍යාපන පරිවර්තනයන් යතාර්ථයක් කර ගැනීමෙන් රටේ දරුවන්ට සුන්දර අනාගතයක් උරුම කර දිය හැකි බවත් එහිදී ඔහු සඳහන් කළේය.