සමාජ මාධ්‍ය තුළ අනාවැකි පළ කිරීම අධිකරණයට අපහාස කිරීමක් -සජිත්

සමාජ මාධ්‍ය තුළ අනාවැකි පළ කිරීම අධිකරණයට අපහාස කිරීමක් -සජිත්

August 23, 2025   11:11 am

සමාජ මාධ්‍ය තුළ එක් පුද්ගලයෙකු නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අනාවැකි පලකිරීම තුළ අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (23) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට නව මැගසින් බන්ධනාගාරය වෙත ගොස් පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන මොහොතක නීතියේ සඳහන් නොවන තුන්වන පාර්ශවයකට නීතියේ අවසන් ක්‍රියාවලිය පුරෝකථනය කළ නොහැකි බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එය බොහෝම භයානක තත්ත්වයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීමට නම් රටේ ජනතාව නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය නිවැරදි බවට විශ්වාස කළ යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

නීතිය ක්‍රියාත්මක වීම මෙන්ම ජනතාව ඒ පිළිබඳව ඇති කරගන්නා අවබෝධය යන කරුණු දෙකම ඉතා වැදගත් වන බවත් සමාජ මාධ්‍යවල පුද්ගලයෙකු අනාවැකි පළ කිරීම තුළ අදාළ ක්‍රියාවලිය තුළ බරපතළ තත්ත්වයක් හට ගෙන ඇතැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

"රටේ උත්තර නීතිය ක්‍රියාත්මක වීම, විනිවිඳභාවයෙන් යුක්තව නිර් දේශපාලනිකරණයකට ලක්කර, එය සිදුවිය ආකාරයටම සිදුවිය යුතුයි. එහෙම නැතුව තුන්වෙනි පාර්ශවයන්ට එළියට ඇවිල්ලා මෙහෙම තමා සිද්ධ වෙන්නේ කියලා කියන එක ඇත්තටම නීතිවිරෝධීයි. ඒ ගැන වහාම පියවර ගැනීම වැදගත්.

මම එතුමාව හමුවුණා. එතුමා හොඳින් සිටිනවා. ඒ වගේම එතුමාග් සෞඛ්‍ය තත්ත්වයත් ආරක්ෂා කළ යුතුයි. අපි විශ්වාස කරනවා ඖෂධ ලබාදීම සිදුවෙනවා කියලා."