සතීෂ් ගමගේ යළි රිමාන්ඩ්

සතීෂ් ගමගේ යළි රිමාන්ඩ්

August 19, 2025   10:56 am

අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා තවදුරටත් සැප්තැම්බර් මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. 

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි සාමාජිකයින් හා විවිධ සේවාවන් ලබාගැනීම සඳහා පොලීසියට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ මුදල් මෙම සැකකරුගේ අනුදැනුම මත විවෘත කර තිබූ වෙනත් පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් තුනක තිබී සොයා ගත් බවත් අල්ලස් කොමිසම  පසුගියදා අධිකරණයට වාර්තා කර තිබුණි.