සාම සාකච්ඡා වෙනුවෙන් ට්‍රම්ප් -  සෙලෙන්ස්කි හමුව අද වොෂින්ටන්හිදී
සයුරෙන් එතෙර

සාම සාකච්ඡා වෙනුවෙන් ට්‍රම්ප් - සෙලෙන්ස්කි හමුව අද වොෂින්ටන්හිදී

August 18, 2025   01:06 pm

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම යුරෝපා නායකයින් එක්වන විශේෂ හමුවක් මෙරට වේලාවෙන් අද රාත්‍රියේ ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් මෙම සාකච්ඡා වටය පැවැත්වෙන්නේ යුක්‍රේනයට සාමය උදාකිරීමේ අරමුණින් යුතුවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර ඓතිහාසික හමුවක් පසුගියදා අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ ඇන්කොරාජ් නගරයේදී සිදු විය.

සාම ව්‍යායාමයේ තවත් දිගුවක් ලෙස යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි, ධවල මන්දිරයේදී හමුවීමට ජනාධිපති ට්‍රම්ප් සැලසුම් කර ති‍බේ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර්, ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස්, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලොනි, යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන්ඩර් ලෙයින් මෙන්ම, නේටෝ ප්‍රධානී මාර්ක් රුටේ යන යුරෝපා නායකයින් ද එක්වන මෙම හමුව අද පැවැත්වෙනු ඇති.

සාකච්ඡාවට පැය කිහිපයකට පෙර සිට ටෘෘත් සමාජ මාධ්‍යයේ සටහනක් පළකරමින් ට්‍රම්ප් අවධාරණය කර තිබුණේ සෙලෙන්ස්කිට අවශ්‍යතාවක් ඇත්නම් යුද්ධය වහා අවසන් කිරීමට හැකි බවය.

එමෙන්ම නේටෝ සංවිධානයට එක්වීමට ඇති අදහස යුක්‍රේනය අත්හැරිය යුතු බවත් ට්‍රම්ප් මෙහිදී
පවසා තිබුණි.

එමෙන්ම 2014 වසරේදී රුසියාව විසින් ඇඳාගත් ක්‍රිමියානු අර්ධද්වීපය නැවත කිසිසේත් ආපසු යුක්‍රේනයට ලබාගත නොහැකි බව ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, සාම ගිවිසුමක කොන්දේසි ලෙස දෙරට අතර
අල්ලාගත් භූමිය නැවත පැවරීමටත් රුසියානු ජනාධිපති පුටින් එකඟ වූ බව අමෙරිකානු විශේෂ 
නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසයි.

කෙසේ නමුත් මෙවන් එකඟතාවක් පිළිබඳ රුසියාව තවමත් තහවුරු කර නොමැත.

පුටින් ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී අත්කරගත් ප්‍රගතිය අනුව රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් නොව සාම ගිවිසුමක් ඇති කරගැනීම ජනාධිපති ට්‍රම්ප්ගේ සැලසුමයි.

කෙසේ නමුත් ස්ථිර සාම ගිවිසුමකට පෙර, ක්ෂණික සටන්විරාමයක් ඇතිකරගත යුතු බව යුක්‍රේන ජනාධිපතිවරයාගේ මතය වේ.