තැපැල් වර්ජනය තවදුරටත් - රාජකාරියට පැමිණෙන සේවකයින්ට විශේෂ ආරක්ෂාවක්
August 18, 2025 07:03 am
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.
ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ (17) පස්වරු 4.00 සිට ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.
මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වූ මෙම වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේය.
මේ හේතුවෙන් අද දිනයේ දි සියලුම තැපැල් කටයුතු අඩපණ වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් අදාළ වැඩවර්ජනය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් රැසක් ලබා දී තිබිය දී මෙලෙස වර්ජනයක නිරත වීම අසාධාරණ බවය.
"උප තැපැල් කාර්යාල 3,000ක් ගණනක් තියෙනවා. ඒ අය වැඩවර්ජනයේ නෑ. නමුත් තැපැල් භාණ්ඩ බෙදීමේ යම් ප්‍රමාදයක් ඇති විය හැකියි. තැපැල්පති විදියට මේ වෙලාවේ කනගාටුව පළ කරනවා සිද්ධ වෙන අපහසුතාවය සම්බන්ධයෙන්. රාජකාරියට වාර්තා කිරීමට කැමති පිරිසක් ඉන්නවා. නමුත් තර්ජන තියෙනවා. මම පොලිස්පතිට ලිපියක් ලිව්වා කාර්යාලයට පැමිණෙන අයට ආරක්ෂාවක් දෙන්න කියලා. එහෙම කඩාකප්පල්කාරී ක්‍රියා කළොත් අනිවාර්යයෙන්ම විනයානුකූලව කටයුතු කරනවා. IT ප්ලැට්ෆෝම්වලට බාධා කරලා තියෙනවා. ඒවා අපි රජයේ දේපොළවලට කරපු හානි ලෙස අපි දකිනවා. එහෙම වුණොත් විනයානුකූලව ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා."
තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස අදහස් පළ කළේය.
"ඔබ වරුවක්, පැය දෙකක්, දිනයක් සේවයට වාර්තා නොකර සිටීම තුළ, තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වය පහළ බහිනවා. ඒකෙන් භාණ්ඩාගාරයට වැඩිපුර වැය බරක් පැටවෙනවා. අනාගතයේ දී ඔබට ලබාදීමට නියමිත වැටුප් වැඩිකිරීම් හෝ අතිකාලවලට තමා ආය ප්‍රශ්නයක් එන්නේ. ඒ නිසා මේක අසාධාරණ වැඩවර්ජනයක් ලෙස මම හඳුන්වන්න කැමතියි. තැපැල් දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන සේවක පිරිස බඳවා ගනිමින් ඉන්න වෙලාවක, අවශ්‍ය කරන වාහන ලබාදෙමින් ඉන්න වෙලාවක, ඩිජිටල්කරණය සිදුකරමින් ඉන්න වෙලාවක, අවශ්‍ය කරන වැටුප් වැඩිකිරීම් ලබාදෙමින් ඉන්න වෙලාවක, කඩාකප්පල්කාරී ලෙස වැඩවර්ජනයකට යන්න එපා කියන ඉල්ලීම මම සියලු සේවකයින්ගෙන් මම කරනවා. මේ තත්ත්වය තේරුම් ගෙන සේවයට වාර්තා කර තමන්ගේ සේවය උපරිමයෙන් ලබාදීලා තමන්ගේ දෙපාර්තමේන්තුව ලාභ ලබන තැනක් බවට පත්කරන්න කියලා මම ඔවුන්ගෙන් ඉල්ලනවා."