අයහපත් කාලගුණය පාකිස්තානයේ  ජීවිත 500ක් බිලිගනී

අයහපත් කාලගුණය පාකිස්තානයේ ජීවිත 500ක් බිලිගනී

August 17, 2025   06:34 pm

පාකිස්තානයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම වසරේ ඉකුත් ජුනි මස අග සිට මේ දක්වා වූ කාලය තුළ අවම වශයෙන් පුද්ගලයින් 500ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා අංශ තහවුරු කර ඇත.

මෙම මියගිය පිරිස අතර අඩක්ම දරුවන් බව සඳහන් වේ.

පාකිස්තානයේ මෝසම් සමය සාමාන්‍යයෙන් ජූලි සිට සැප්තැම්බර් දක්වා පවතින අතර මෙම කාලසීමාවේ දී වාර්ෂික වර්ෂාපතනයෙන් සැලකිය යුතු කොටසක් ලැබේ. 

ඒ හේතුවෙන් වසරේ ජූලි - සැප්තැම්බර් යනු එරට වයඹ හා උතුර ප්‍රදේශව නිරන්තයෙන් ස්වභාවික ව්‍යසනයන්ට මුහුණදෙන කාලසීමාවකි.

පාකිස්තානයේ ආපදා කළමනාකරණ පෙන්වා දෙන්නේ බොහෝ දෙනෙක් දියේ ගිලී හෝ ඔවුන්ගේ නිවාස කඩා වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

ඉන් දිවි ගලවාගත් පිරිස ජලයෙන් බෝවන මාරාන්තික රෝගවලට මුහුණ දෙන බවද ඔවුන් සඳහන් කර සිටී.

මිලියන 250ක පමණ ජනතාවක් වෙසෙන පාකිස්තානය, ගෝලීය වායු දූෂණයෙන් 0.5% කට පමණක් වගකිව යුතු වුවද, ලෝකයේ වඩාත්ම දේශගුණික අවදානමට ලක්විය හැකි රටවලින් එකකි. 

අයහපත් කාලගුණය නිසා මේ වසරේ මෙතෙක් ඇති වූ මාරාන්තිකම සිදුවීම වාර්තා වූයේ පසුගිය සිකුරාදායි.

එහිදී පැය 24ක් තුළ ගංවතුරෙන් පුද්ගලයින් 180කට වැඩි පිරිසක් මිය ගියේය.

මෙය එක් සිදුවීමක් පමණක් වන අතර එවැනි සිදුවීම් කිහිපයක්ම පසුගිය දින කිහිපය පුරාම වාර්තා විය.

ජූලි මැද භාගයේදී, පාකිස්තානයේ වඩාත්ම ජනාකීර්ණ පන්ජාබ් පළාතට ද දැඩි වර්ෂාවක් ඇද හැළුණු අතර, එහිදී ගම්මාන සහ කුඹුරු ජලයෙන් යට විය.

එමෙන්ම ඉස්ලාමාබාද් අසල රාවල්පින්ඩි නගරයටද දැඩි වර්ෂාපතනයක් ඇද හැළුණු අතර එහිදී ද නිවාස සහ ව්‍යාපාර ස්ථාන ජලයෙන් යට වී තිබුණි.

ජූලි මස අගදී ගිල්ගිට්-බෝල්ටිස්තානයේ ප්‍රදේශය පුරා ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර එහිදීද පුද්ගලයින් විශාල ප්‍රමාණයක් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම අගෝස්තු මාසයේදී, ග්ලැසියර විලක් පුපුරා යාමෙන් ඇති වූ හදිසි ගංවතුර තත්ත්ව හේතුවෙන් ද එම ප්‍රදේශයේ අධිවේගී මාර්ග, නිවාස සහ ගොවිපලවලට විශාල හානියක් සිදු විය.