බියකින් තොරව මෙරට ආයෝජනය කරන්නැයි ජපන් ආයෝජකයින්ට ආරාධනා
August 15, 2025 03:16 pm
විනිවිදභාවය සහතික කිරීමට කැපවී සිටින වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු බියකින් තොරව මෙරට ආයෝජනය කරන්නැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ජපන් ආයෝජකයින්ට ආරාධනා කර තිබේ.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (14) පැවති ව්‍යාපාරික ප්‍රවර්ධන සමුළුවකට එක්වෙමිනි.
මෙරට ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල එක්ව සංවිධාන කළ ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රවර්ධනය පිළිබඳ සමාරම්භක සැසිය කොළඹ පිහිටි ශ්‍රී ලංකා අයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්විණි.
ඒ මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමාටා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහත්වරු ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා
''ශ්‍රී ලංකාවේ ජපන් ආයෝජකයින් සංඛ්‍යාව 145ක් බව සඳහන් කෙරුණා. අයෝජන මණ්ඩලය යටතේ සමාගම් 70ක් 75ක් පමණ ක්‍රියාත්මක වෙනවා. මගේ අදහස මේ සිටින ආයෝජකයින් සංඛ්‍යාවෙන් හා අගයෙන් තවදුරටත් කැපීපෙනෙන ලෙස ඉහළ නැංවීමයි.''
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතා,
''ශ්‍රී ලංකාව ආරථිකය ප්‍රකෘතිමත් කිරීමේ නිසි මාර්ගයට පිවිසී සිටිනවා. ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය යළි ගොඩනගමින් සිටිනවා. යහපාලනය සහ දූෂණය වැළැක්වීමේ පියවර ඊට සහායක් වෙනවා. මෙම වාතාවරණය වැඩිදියුණු කළ හැකි වැදගත් කරුණු තුනක් මම විශ්වාස කරනවා. පළමුව විනිවිදභාවය. දෙවනුව පුරෝකථනය කිරීමේ හැකියාව සහ තුන්වැනියට වෙනස්කම් වලින් තොරව සැලකීම. මේ සියලු කරුණු ආයෝජකයින්ට සහායවීමට වැදගත්. ශ්‍රී ලංකාවේ නව ආයෝජන ඇතිකිරීමටත්, ආයෝජන ඉහළ නැංවීමට සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙන්ම ආයෝජන පුළුල්කිරීමට එය වැදගත්වෙනවා. මම අපේක්ෂා කරනවා මෙම හමුවෙන් පසු තවත් ජපාන ආයෝජකයින් ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන සිදුකරයි කියලා.''
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා,
''විනිවිදභාවය සහතික කිරීමට අපේ රජය ප්‍රමුඛත්වයක් ලබාදී තිබෙනවා.ආයෝජන ආරක්ෂණය සහතික කිරීම වෙනුවෙන් නීති කෙටුම්පත් රැසක් අපි බලාත්මක කර තිබෙනවා. ඒ ගැන බියක් ඇතිකරගත යුතු නැහැ.පුරෝකථනය කිරීමේ හැකියාව ඉහළ නැංවීමට අපි සෑම පියවරක්ම ගෙන තිබෙනවා. අපේ රජය ඒ සඳහා කැපවී සිටිනවා වගේම ආයෝජකයින්ට පහසුකම් සැලසීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනවා. විශේෂයෙන් ජපාන ආයෝජකයින්ට සහ ව්‍යාපාරික නායකයින්ට බියකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන සිදුකරන ලෙස මම ආරාධනා කරනවා.''