ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 99.94න් නැවතී අදට වසර 77යි
August 14, 2025 07:38 pm
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා ලෙස අවිවාදයෙන් පිළිගත හැකි ක්‍රීඩකයා වන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පිතිකරණ සාමාන්‍ය සියයට 100ක් කරගැනීමට නොහැකි වූ එම තීරණාත්මක තරගය පැවැත් වී අදට (14) වසර 77ක් සම්පූර්ණ විය.
1948 වසරේ දී අදවන් දිනක ඔහු එංගලන්තයට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් තරගය ක්‍රීඩා කළේය.
ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය සියයට 100ක් කරගැනීමට ලකුණු 4ක් පමණක් අවශ්‍ය වී තිබුණි.
කෙසේ නමුත් එම ඓතිහාසික තරගයේ දී පන්දු 2කට පමණක් මුහුණදුන් බ්‍රැඩ්මන්, විලියම් එරික් හොලීස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැඳී ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගියේය.
මෙම තරගයෙන් ඔස්ට්‍රේලියාව ඉනිමකින් හා ලකුණු 149ක දැවැන්ත ජයක් ලැබීම හේතුවෙන් ඔහුට දෙවනවරට පන්දුවට පහරදීමේ අවස්ථාවක්ද නොලැබුණි.
ඒ හේතුවෙන් ඔහුගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍ය 99.94 සීමාවෙන් නැවතුණි.
බ්‍රැඩ්මන්ගෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සචින් ටෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, කුමාර් සංගක්කාර වැනි ලෝක පූජිත පිතිකරුවන් බිහි වුවද, ඒ කිසිවෙකුට හෝ බ්‍රැඩ්මන්ගේ පිතිකරණ සාමාන්‍යයට ළඟවීමට හෝ නොහැකි වී ඇත.
1928 වසරේ දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් බ්‍රැඩ්මන් 1948 වසරේ දී ක්‍රීඩාවෙන් සමුගන්නා විට ලකුණු 6,996ක් රැස්කරගෙන සිටියේය.
ඊට ශතක 29ක් හා අර්ධ ශතක 13ක් ඇතුළත්ය.
ටෙස්ට් පිතිකරණ වාර්තා අනුව කමිඳු මෙන්ඩිස් ලෝක ක්‍රිකට් පිටියේ දෙවන හොඳම සාමාන්‍යයක් (62.66) ඇති පිතිකරුවා වන අතර, තෙවන ස්ථානයේ ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු ඇඩම් වෝගස් (61.87) රැඳී සිටියි.
කුමාර් සංගක්කාර (57.40) මෙහි 13වන ස්ථානයේද, සචින් තෙන්ඩුල්කාර් (53.78) හා බ්‍රයන් ලාරා (52.88) පිළිවෙළින් මෙහි 25වන හා 26වන ස්ථානයන්හි රැඳී සිටියි.