ලංකාව ගෝලීය නව්‍යකරණ දර්ශකයේ ශක්තිමත්ව ස්ථානගත කිරීම ගැන දැනුම්වත්කිරීමක්
August 14, 2025 10:12 pm
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ (NIA – National Innovation Agency) මෙහෙයවීම යටතේ, ගෝලීය නව්‍යකරණ දර්ශකයට (Global Innovation Index) අදාළ දත්ත අවශ්‍යතා පිළිබඳ උපදේශාත්මක රැස්වීමක්, විද්‍යා, තාක්ෂණ, අධ්‍යාපනික, සහ කාර්මික ආදී ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ජ්‍යේෂඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි.
ප්‍රධාන පද්ධති 7ක් යටතේ දර්ශක 80ක් යොදා ගෙන රටවල නව්‍යකරණ කාර්ය සාධනය මනින ජාත්‍යන්තරව පිළිගත් ගෝලීය නව්‍යකරණ දර්ශකයෙහි ශ්‍රේණිගත කිරීම තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළට ඔසවා තැබීම සඳහා සියලු පාර්ශ්වයන් දායක කර ගැනීම මෙහි අරමුණ වී ඇත.
ඒ සඳහා ගෝලීය වශයෙන් මෙරට තරගකාරිත්වය ඉහළ නැංවීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙන්ම, දැනුම, තාක්ෂණය සහ ව්‍යවසායකත්වය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් වීම ආදී කරුණු පිළිබඳව අවධානය යොමු තිබේ.
පර්යේෂණ සහ සංවර්ධන සංස්කෘතියක් පෝෂණය කිරීම, රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ජාතික ප්‍රමුඛතාවන්ට අනුකූලව ශක්තිමත් නව්‍යකරණ පරිසර පද්ධතියක් ගොඩනැගීමත් පර්යේෂණ, තාක්ෂණය, නිර්මාණශීලිත්වය සහ නව්‍යකරණ මුල් කර ගත් ආර්ථිකයක් කරා මෙරට මෙහෙයවීම පිණිස වූ රජයේ කැපවීම මෙමගින් පිළිබිඹු වේ.
මෙම රැස්වීම සදහා අවශ්‍ය දත්තවල ප්‍රධාන භාරකරුවන් වන ප්‍රධාන අමාත්‍යාංශ, ජාතික ආයතන, විශ්ව විද්‍යාල සහ ප්‍රමුඛ පෞද්ගලික අංශයේ නියෝජිත ප්‍රධානීහු රැසක් එක් වූහ.
දත්ත පරතරයන් පියවීම, සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ රටේ නව්‍යකරණ කාර්ය සාධනයට සහාය වීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සඳහා පැහැදිලි භූමිකාවන් නිර්වචනය කිරීම මෙම වැඩසටහනේ අවධානයට ලක් විය.
සමාරම්භක සැසියෙන් පසුව, ශ්‍රී ලංකාවේ නව්‍යකරණ විභවය ගෝලීය වේදිකාවේ නිවැරදිව නිරූපණය වන බව සහතික කරමින්, දත්ත රැස් කිරීම සහ වාර්තා කිරීම සඳහා තිරසාර ජාතික යාන්ත්‍රණයක් සිතියම්ගත කිරීම සඳහා නිර්මාණය කරන ලද ක්‍රියාකාරී සැසියක්ද පැවැත්විණි.
නව්‍යකරණය ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවයක් පමණක් නොව ජාතික ප්‍රගතියේ ප්‍රායෝගික ධාවකයක් බවට පත් කිරීමට රජයේ කැපවීම මෙම මුලපිරීම මගින් පිළිබිඹු කෙරේ.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, NIA පාලක සභාවේ සභාපති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි. එල්. එම්. නවාවි යන මහත්වරු සහ රටේ විවිධ ප්‍රධාන ආයතන නියෝජනය කරමින් ආරාධිත පිරිසක් එක්ව සිටියහ.