රාජ්‍ය සේවයට 62,000ක් කඩිනමින් බඳවා ගන්න කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයට 62,000ක් කඩිනමින් බඳවා ගන්න කැබිනට් අනුමැතිය

August 12, 2025   12:39 pm

ආණ්ඩුව නූතනත්වයට ගෙන ඒම තම අපේක්ෂාව බව ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එලෙස නූතනත්වයට පත්කිරීමට දැනටමත් රාජ්‍ය සේවකයින් 62,000කට ආසන්න පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවය.

"අපේ ආණ්ඩුව රැකියා සපයන මධ්‍යස්ථානයක් නොමේ. අපේ ආණ්ඩුව රැකියා උත්පාදනය කරන මධ්‍යස්ථානයක්. එහෙත් අපේ රාජ්‍ය සේවය රැකියා උද්පාදනයකට සමත්වන ආර්ථිකයක් නිර්මාණය කිරීමට, සමාජ සංස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වන ආණ්ඩුවක් අපට අවශ්‍යයි. අද අපේ ආණ්ඩුව ගත්තොත් සුන්බුන් ගොඩක එකතුවක්. අපේ ආණ්ඩුව නූතනත්වයට ගේනවා. ඒ සඳහා දැනටමත් අපි 62,000කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමතය ලබාදී තිබෙනවා." 

"අපි බල්ක් පිටින් බඳවා ගන්නේ නෑ. ලක්ෂය, එක හමාරය බඳවා ගන්නේ නෑ. හැබැයි රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට අවශ්‍ය රාජ්‍ය දේහය පුරා පැතිරුණු 62,000ක් හඳුනාගෙන තියෙනවා. අපි උපදෙස් දුන්නා මේ 62,000 හැකි ඉක්මනින් රාජ්‍ය සේවයට බඳවා ගන්න කියලා. හැබැයි රැකියා ප්‍රශ්නය එතැනින් විසඳෙනවා ද ? එතැනින් විසඳෙන්නේ නෑ. හැබැයි මේ ආණ්ඩුව, ආණ්ඩු ක්‍රියාවලිය හරහා රැකියා උත්පාදනය වන එළියේ ආර්ථිකයක් හදන්න ඕනේ. අපි ඒකට සැලසුම් හදලා තියෙනවා. සංචාරක කර්මාන්තයට අපි අපේක්ෂා කරනවා මිලියන 2.5ක සංචාරකයින් පැමිණේවි කියලා. අපේ අපේක්ෂාව 2030 වෙද්දි මිලියන 4ක සංචාරක කර්මාන්තයක්. ඒ කියන්නේ ලක්ෂ 40ක් එයි කියලා සැලසුම් කරා. අපේ ආර්ථිකය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 4කට ආසන්නයි. අපේ අපේක්ෂාව 2030 වෙද්දි සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 8ක් උපයන කර්මාන්තයක් බවට පත්කරන්න. සංචාරක කර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් එළියේ ගොඩනැගෙනවා. ඒ තුළින් රැකියා උත්පාදනය වෙනවා. ඒක තමා රජයේ සැලසුම."