හෘදපෙනහළු වෘත්තිකයින්හට පළමු වරට හෘදපෙනහළු නිවේශණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

හෘදපෙනහළු වෘත්තිකයින්හට පළමු වරට හෘදපෙනහළු නිවේශණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

August 11, 2025   04:47 pm

හෘදපෙනහළු නිවේශක වෘත්තිකයින්ගේ ක්ෂේත්‍රයේ වෘත්තිකයින් හට පළමු වරට හෘදපෙනහළු නිවේශණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හදුන්වාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ගෙන තිබේ.

ඊට අදාළ විෂය මාලාව හදුන්වාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජාතික රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම පාඨමාලාව වසර 02 ක පුහුණු පාඨමාලාවක් වන අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ‌යේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය විසින් මෙය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙරට 1953 සිට හෘද ශල්‍යකර්ම සිදුකර ඇති අතර, එම කාලයේ සිටි වෛද්‍යවරුන් මෙම තනතුරේ වගකීම දරා තිබේ. 

නමුත් 1980 පසු මෙම තනතුරට වෙනමම නිලධාරින් බඳවාගෙන ඇති අතර, වර්තමානය වන විට හෘදපෙනහළු නිවේශක තනතුරේ නිලධාරින් 40 ක් පමණ මෙරට සේවයේ නිරතව සිටී. 

එසේ වුව ද එම තනතුරට අදාළව නියමිත පුහුණුවක් මෙරට දී  ලබාදීමේ වැඩපිළීවෙලක් නොතිබුණු අතර, හෘදපෙනහළු නිවේශක සංගමයේ අඛණ්ඩ ඉල්ලීමකට අනුව එම පුහුණු පාඨමාලාව ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙලෙස පියවර ගෙන තිබේ.     
 
මේ අතර මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය‌ වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවසුවේ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ දැඩි හිඟය සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපෑමක් එල්ල කර ඇති බවත්, රෝහල් කාර්ය මණ්ඩල සහ භෞතික සම්පත් වැඩි වුව ද සිදු කරන ශල්‍යකර්ම ප්‍රමාණය අඩුවීමට එය ද හේතු වී ඇති බවය.

එමෙන්ම හෘද රෝගී සැත්කම් ලේඛණයේ විශාල පිරිසක් ඇති බැවින්, ‌භෞතික සම්පත් ලබාදෙන අතරම මානව සම්පත සංවර්ධනයට පියවර ගන්නා බව ද, ඉදිරියේ දී මෙම ක්ෂේත්‍රයේ දියුණුව අත්‍යාවශ්‍ය බව ද ඔහු තවදුරටත් පැවසීය.