සෞඛ්‍ය ඇමති සමග එළැඹි එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි GMOA වෙතින් චෝදනා

සෞඛ්‍ය ඇමති සමග එළැඹි එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි GMOA වෙතින් චෝදනා

August 11, 2025   04:16 pm

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ සිදුව ඇති අක්‍රමිකතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එළැඹි එකඟතාවන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශ තුළ ස්ථාන මාරු ලැයිස්තු සකස් කිරීම, ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීම, රෝහල්වල පුරප්පාඩු සැපිරීම යන කරුණු නිවැරදිව සිදු නොවූ බවත් ඒ තුළින් උද්ගත වූ තත්ත්වයන් හමුවේ සිය සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සලකා බැලීමට ද සිදුවූ බවය.

කෙසේ වෙතත් මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යවරයා දුන් වාචික පොරොන්දු ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ක්‍රියාත්මක නොවීම සිය සංගමයයේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එමෙන්ම මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිඛිතව දැන්වීමට පියවර ගත් බවත් තාවකාලිකව අත්හිටුවා ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන් පිළිබඳව සිය සංගමයේ විධායක සභාවේ අවදානයට යොමු වූ බවත් පෙන්වා දෙන එම සංගමය පැවසුවේ තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරු මණ්ඩලය මැදිහත් වීමෙන් ස්ථාන මාරු නියෝග පාරදෘශ්‍යව ක්‍රියාත්මක නොකරන්නේ නම් හෝ සෞඛ්‍ය පද්ධතිය අකර්මණ්‍ය කිරීමට තැත් කරන්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ පිළිබඳව දැඩි තීන්දු තීරණ ගැනීමට දෙවරක් නොසිතන බවය.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යහපත් ප්‍රතිචාර සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාවට නැංවීමට සැලසුම් සහගත ලෙස ප්‍රමාද කරමින් කටයුතු කරන්නේ නම් එම නිලධාරීන්ට විරුද්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු සියලු පාර්ශ්ව වෙත පැමිණිලි කිරීමටද සිය සංගමය කටයුතු කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.