ට්‍රම්ප්ගේ තර්ජන මැද්දේ මෝදි සහ පුටින් සාකච්ඡාවක

ට්‍රම්ප්ගේ තර්ජන මැද්දේ මෝදි සහ පුටින් සාකච්ඡාවක

August 8, 2025   08:55 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු නිවේදන මගින් ඇතිකරන ලද ගෝලීය වෙළෙඳ අවිනිෂ්චිතතා මධ්‍යයේ මෙම සාකච්ඡා පැවති බවය.

කෙසේ නමුත් අදාළ සාකච්ඡාවෙන් පසු සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග දුරකථන සංවාදයක නිරත වූ බවය.

එමෙන්ම තමන් රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් දෙරට අතර ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රයේ ප්‍රගතිය සම්බන්ධව සමාලෝචනයක්ද මෙහිදී සිදුකළ බවත් ඔහු සිය X සටහන මගින් සඳහන් කර තිබේ. 

එමෙන්ම ඉන්දු - රුසියා විශේෂ සහ වරප්‍රසාදිත උපායමාර්ගිත හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමටද මෙමගින් තහවුරු කළ බවත් ඉන්දීය අග්‍රමාත්‍යවරයා සිය X ගිණුමේ වැඩිදුරටත් සටහන් කර ඇත.

තවද යුක්‍රේන - රුසියා ගැටුම සාමකාමීව විසඳා ගැනීම සඳහා ඉන්දියාවේ ස්ථාවරයද මෙහිදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් රුසියානු ජනාධිපතිවරයා හමුවේ පවසා තිබේ.

රුසියාවෙන් තෙල් ආනයනය කිරීම සඳහා ඉන්දියාව පියවර ගැනීමට එරෙහිව අමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දියාවට අමතර තීරුබදු පැනවූ අතර එම තීරණයත් සමග ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ රුසියානු ජනාධිපතිවරයා මෙලෙස දුරකථන සාකච්ඡාවක නිරත වීම මේ වන විට විදෙස් මාධ්‍ය රැසක්ද වාර්තා කර තිබේ.