උකුස්සාට හෙළි වූ කුළුබඩු ජාවාරම
August 8, 2025 08:09 pm
මිරිස් ඇතුළු කල් ඉකුත් වූ කුළුබඩුවල දවටන ඉවත්කර ඒවා නැවත වෙළෙඳපොළට නිකුත් කරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු වාර්තා විය.
උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.
සෑම මිනිසෙක්ම වෙහෙසෙන්නේ තමා ලබාගන්නා ආහාරවේල පිරිසිඳු අන්දමින් ලබාගැනීමටය.
නමුත් මුදලට ගිජු වී කන බොන ආහාරවලට පවා වස විස එකතු කරන කූඨ ජාවාරම්කරුවන් අද සාමාජය බහුලය.
ඒ ආකාරයෙන් කල් ඉකුත් වූ මිරිස්කුඩු ඇතුළු කුළුබඩුවල දවටන ඉවත් කර ඒවා නැවත වෙළෙඳපොළට නිකුත් කරන ජාවාරමක් සම්බන්ධයෙන් පන්නල ප්‍රදේශයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු වාර්තා විය.
මෙම ජාවාරම්කරු මෙලෙස කල් ඉකුත් වූ මිරිස් කුඩු නැවත ඇසුරුම් කර තොග වශයෙන් වෙළෙඳුන්ට ලබාදෙන බවට තොරතුරු ලැබුණ හෙයින් අද දෙරණ උකුස්සා උපාය දූතයෙකු මාර්ගයෙන් ජාවාරම්කරු සම්බන්ධ කර ගත්තේය.
ඒ අනුව ඔහු සමඟ ඇතිකරගත් එකඟතාව මත අද දෙරණ උකුස්සා එම කුළුබඩු මිලට ගැනීම සඳහා පන්නල බම්මින්න ප්‍රදේශයට ගියේ තොග වෙළෙඳෙකු ලෙස අඟවමිනි.
එම අවස්ථාවේදී ඔහු අප වෙනුවෙන් කුළුබඩු උරයක් සූදානම් කර තිබූ අතර එම ස්ථානයේ තිබූ අපිරිසිඳු බව වටහා ගැනීමට අද දෙරණ උකුස්සාට වැඩි වේලාවක් ගතවූයේ නැත.
එසේම එහි ගබාඩාවක් අගුළුලා වසා ඇති ආකාරයත් අද දෙරණ උකුස්සාට නිරීක්ෂණය විය.
ඒ අනුව මෙහි යම් කූට ජාවාරමක් සිදුවන බවට සැකහැර දැනගත් අද දෙරණ උකුස්සා මේ සම්බන්ධයෙන් පන්නල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද දැනුවත් කළේය.
අද දෙරණ උකුස්සා ලබාදුන් තොරතුරු මත වහාම එම ස්ථානය පැමිණි එම නිලධාරින් අගුළු ලා තිබූ ගබඩාව සහ එම පරිශ්‍රය පරීක්ෂා කළේය.
එහිදී ගුල්ලන් ගැසූ පරිභෝජනයට නුසුදුසු මිරිස් ඇතුළු කුළුබඩු රැසක් සොයා ගැණුනි.
කොළඹ සිට ගෙන්වන මෙම කල් ඉකුත් වූ කුළුබඩු නැවත දවටනවල යොදා තොග වශයෙන් බෙදා හරින බව මෙහිදී වැඩිදුරටත් දැනගන්නට ලැබිණි.
එසේම ඒවාට විවිධ ඩයි වර්ග මිශ්‍ර කරන බවට ද අනාවරණය විය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම ගබඩාවට මුද්‍රා තබා මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත්තේය.
මුදලට ලොල්වී, ආහාරවලටත් විෂ එකතු කර මෙවන් කූට ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා අද දෙරණ උකුස්සා සීරුවෙන්.