අමෙරිකානු බදු අඩුකරගැනීමේ සාකච්ඡාවල නවතම තත්ත්වය ගැන කියන හඳුන්නෙත්ති

අමෙරිකානු බදු අඩුකරගැනීමේ සාකච්ඡාවල නවතම තත්ත්වය ගැන කියන හඳුන්නෙත්ති

July 31, 2025   09:14 pm

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන අතර එම තීරුබදු අඩුකරගැනීම සඳහා අමෙරිකාව සමග සිදුකරමින් පවතින සාකච්ඡා මෙතෙක් සාර්ථක වී නොමැති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් ඔහු සඳහන් කර සිටියේ එම සාකච්ඡා සුබවාදීව අවසන් වේයැයි අපේක්ෂා කරන බවයි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා
''ඇමරිකා එක්සත් ජනපදය වුණත් ඉතාම හොඳ මට්ටමකට සාකච්ඡා සම්පූර්ණ වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා සුබවාදීව ඉවර වෙයි කියලා. ඒ වගේම අපි රජය හදන ආර්ථික ඉලක්ක ජනතාව අතර බෙදා හදාගෙන ජන සහභාගීත්වයෙන් ඒ ඉලක්ක සම්පූර්ණ කරගැනීම තමයි අපේ අරමුණ''

ලොව රටවල් 100කට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය පසුගිය අප්‍රේල් දෙවැනිදා අන්‍යෝන්‍ය තීරුබදු හඳුන්වාදෙනු ලැබුවේය.

මෙහිදී දෙරට අතර සියයට 88ක වෙළෙඳ හිඟයක් පවතින බවට සඳහන් කරමින් ශ්‍රී ලංකාවට සියයට 44ක් තීරුබදු පැනවූයේ ඉහළ තීරුබදුවලට ලක්වූ මුල් රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කරමිනි.

මේ සම්බන්ධයෙන් ලොව රටවල් රැසකින් ලැබුණු ඉල්ලීම් සලකා බලා නව එකඟතාවන්ට පැමිණීමට දින 90ක සහන කාලයක් ලබාදීමට ජනාධිපති ට්‍රම්ප් තීරණය කළේය.

සහන කාලය අවසන්වීමෙන් පසු ඉහළ තීරුබදුවලට ලක්වූ රටවල් සඳහා පැනවූ නව තීරුබදු සීමා සඳහන් කළ ලිපි ඒ ඒ රටවල් වෙත යැවීමට ට්‍රම්ප් කටයුතු කළ අතර එහිදී ශ්‍රී ලංකාවට පැනවූ තීරුබදු ප්‍රතිශතය සියයට 30කි.

මේ අතර, ආසියානු කලාපීය තරගකාරී රාජ්‍යයක් වන ඉන්දියාවට සියයට 25ක අන්‍යෝන්‍ය තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ නිවේදනය කළේය.

ඒ රුසියාව සමඟ ගනුදෙනු කරමින් එරට අවි ආයුධ සහ ඉන්ධන මිලදීගෙන රුසියාව පොහොසත් කරන බවට ඉන්දියාවට ප්‍රබල චෝදනාවක් ද කරමිනි.

එම ගනුදෙනුව මුල්කරගෙන ඉන්දියාවට අතිරේක තීරුබදු ද පනවන බවට අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අනතුරු අඟවා තිබුණි.

ඊට සමගාමීව ඉන්දියාවේ පසමිතුරු රාජ්‍යය වන පාකිස්තානය සමඟ වෙළෙඳ එකඟතාවකට පැමිණි බවට ද ට්‍රම්ප් නිවේදනය කළේ, පාකිස්තානය සතු දැවැන්ත ඉන්ධන සංචිත සංවර්ධනයට පියවර ගන්නා බවත් අනාවරණ කරමිනි.