එල් සැල්වදෝර් ජනාධිපතිට නැවත තරග කරන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතිය
August 1, 2025 08:02 pm
මධ්‍යම අමෙරිකානු රාජ්‍යයක් වන එල් සැල්වදෝරය ගැන පසුගිය කාලයේදී කතාබහට ලක්වුණේ එහි අධිරක්ෂිත බන්ධනාගාරයේ අමෙරිකාව පිටුවහල් කරන අපරාධකරුවන් ලෙස හංවඩු ගැසූ සංක්‍රමණිකයන් රැඳවීම හේතුවෙනි.
ඒ සඳහා අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය එල් සැල්වදෝරයේ COOL DICTATOR යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ජනාධිපති නයිබ් බුකලේ සමග ගිවිසුමකටත් එළඹුණි.
තවමත් 44 වැනි වියේ පසුවන ජනාධිපති නයිබ් බුකලේ එරට ජනාධිපති ධුරය හොබවන්නේ 2019 වසරේ සිටය.
2024 වසරේදී ඔහු නැවතත් තේරී පත්වුණේ විශාල බහුතරයකිනි.
නයිබ් බුකලේ රට තුළ මේ තරම් ජනප්‍රසාදයක් දිනාගැනීමට සමත්වුණේ රටේ අපරාධ කල්ලි මැඬලීමට ඔහු දැඩි පියවර ගැනීම හේතුවෙනි.
මේ නිසා අනෙකුත් කලාපීය රටවලට සාපේක්ෂව එල් සැල්වදෝරයේ අපරාධ කල්ලිවල ප්‍රචණ්ඩත්වය බෙහෙවින් අඩු මට්ටමක පවතියි.
එහෙත් ඔහුගේ මේ අයෝමය හස්තය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල විවේචනයට ලක්ව ඇත.
එල් සැල්වදෝර් ව්‍යවස්ථාව අනුව බුකලේට නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්න හැකියාවක් නොමැත.
එහෙත් ඔහුට මීළඟ ජනාධිපතිවරණයට තරග කරන්න වගේම වර්තමාන ධුරකාලය වසර පහේ සිට වසර 6 දක්වා දීර්ඝ කරන්න එල් සැල්වදෝර් පාර්ලිමේන්තුව ඊයේ අනුමැතිය ලබා දුන්නේය.
ආසන 84කින් සමන්විත එල් සැල්වදෝර් පාර්ලිමේන්තුවේ බුකලේ ජනාධිපතිවරයාට සහාය දක්වන මන්ත්‍රීවරුන් 57 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරද්දී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ මන්ත්‍රීවරුන් තුන් දෙනෙකුට පමණකි.
කෙසේ වෙතත් නව සංශෝධන යටතේ එල් සැල්වදෝර් ජනාධිපතිවරණයේ දෙවැනි වටය ද අහෝසි කර තිබේ.