උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා ගැන ගොනුකළ නඩුව විභාගයට
July 31, 2025 03:27 pm
උතුරු දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේදී මහව සහ අනුරාධපුරය අතර දුම්රිය ස්ථානවලට ප්‍රවේශ වීමට ආබාධ සහිත පුද්ගලයින්ට පහසුකම් සලසා නොමැති බවට චෝදනා කරමින් අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට දින නියම කර තිබේ.
ඒ අනුව නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 18 දින ප්‍රකාශයට පත්කරන බව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා නියෝග කළේය.
ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය විසින් ගොනුකර ඇති අදාල නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ප‍්‍රවාහන මහමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, දුම්රිය සාමාන්‍යාධිකරිවරයා, උතුරු පළාත සහ අනුරාධපුර භාර ඉංජිනේරු අධිකාරිවරයා යන අය නම්කර ඇති බව සදහන් වේ.
ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමගාමීව මහව සිට අනුරාධපුරය දක්වා අතර ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේ දී ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරමින් මෙම නඩුව ගොනුකර ඇත.