ගාසා මරණ 60,000 ඉක්මවයි - සාගින්නෙන් මියයෑමත් ඉහළට
July 30, 2025 02:56 pm
21 වැනි සියවසේ මානුෂීය ඛේදවාචකය බවට පත්වෙමින් ඇති ගාසා තීරයේ පලස්තීනුවන්ගේ ශෝකාලාපය ලොව පුරා රැව් දෙද්දී, පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා වාර්තා වූ ගාසා තීරයේ පලස්තීනුවන්ගේ මරණ සංඛ්‍යාව ඊයේ (29) 60,000 සීමාව ඉක්මවා ගියේය.
ඉන් අඩක් පමණ කාන්තාවන් සහ ළමුන් බවයි ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම සංඛ්‍යාත්මක දත්ත පිළිගත හැකි බව පවසද්දී, ඇතැම් ස්වාධීන අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත්තේ, මරණ සංඛ්‍යාව මීටත් වඩා ඉහළ අගයක් විය හැකි බවය.
දින 662ක් තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 60,000කට වැඩි පිරිසක් මිය යාම දිනකට පුද්ගලයින් 90කට වැඩි සංඛ්‍යාවක් මිය යාමක් විදියට සැලකිය හැකියි.
ගාසා තීරයේ පලස්තීනුවන් 1,45,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, තවත් ගණනක් සුන්බුන් අතර අතුරුදන් වී ඇති බවත් ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර මානුෂීය ආධාර මෙහෙයුම් සඳහා දිවා කාලයේ පැය 10ක් අත්හිටුවන බව ප්‍රකාශ කළත් රාත්‍රියේ එම ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
ඒ වගේම ඊශ්‍රායලය ගාසා තීරයේ සියලු ප්‍රදේශවල එම තාවකාලික සටන් නැවැත්වීම ක්‍රියාත්මක කරන්නේත් නැහැ.
මේ විදියට සඳුදා රාත්‍රියේ නුසෙයිරට් සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරකින් පලස්තීනුවන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ඒ අතර කාන්තාවන් සහ ළමුන් ද වේ.
ඉන් පසුව ගාසා මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවූ බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
ගාසා තීරයේ සියලු සැපයුම් පසුගිය මාර්තු මාසයේ අවහිර කළ ඊශ්‍රායලය මැයි මාසයේ නැවතත් ආහාර සැපයුම් ආරම්භ කළේ අමෙරිකානු ඊශ්‍රායල සහාය ලබන ගාසා මානුෂීය ආධාර පදනම හරහාය.
එහෙත් එම ආහාර ආධාර ලබාගැනීමට පැමිණි පලස්තීනුවන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් ඊශ්‍රායල වෙඩි ප්‍රහාරවලට ගොදුරු වුණේ එම ආධාර මර උගුලක් බවට පත්කරමින්.
මේ අතර ගාසා තීරයේ සාගත තත්ත්වයක් නිර්මාණය වුණේ 150කට වැඩි පිරිසක් සාගින්නෙන් මිය යමින්.
ඒ අතර 88 දෙනෙකු කුඩා ළමුන් සහ ළදරුවන්.
දරුණු මන්ද පෝෂණයෙන් පෙලෙන පලස්තීන ළමුන් සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
පසුගිය ජූලි 17 වැනිදා සිට ගතවූ දින කිහිපය තුළ ගාසා තීරයේ අවුරුදු 5ට අඩු ළමුන් 16 දෙනෙකු සාගින්නෙන් මිය ගොස් තිබේ.
මේ අතර වහා කඩිනම් පියවරක් නොගතහොත් ගාසා තීරයේ සාගින්නෙන් සිදුවන මරණ ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට IPC හෙවත් ගෝලීය ආහාර සුරක්ෂිතතා අධීක්ෂණ ආයතනය පෙන්වා දෙයි.
ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන ආකාරයට ගාසා තීරයේ සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකුම දිනගණනාවක් කුසගින්නෙන් සිටින බවයි.
ගාසා තීරයට ගුවනින් ආධාර හෙලීමටත්, එක්සත් ජාතීන්ගේ ආහාර ආධාර රථවලට ඇතුළුවීමටත් ඉඩ ලබා දුන්නත්, එය තවමත් ප්‍රමාණවත් නොවන බව සහන සංවිධාන පවසයි.
ඊශ්‍රායල ප්‍රහාර නතර කර සීමාවකින් තොරව ගාසා තීරයට ආහාර ආධාර ලබාදිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
මේ අතර ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුම් නතර කරන ලෙස ඉදිරිපත් වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියන් සාර් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර වශයෙන් කොයි තරම් බලපෑම් එල්ල වුණත් සිය මෙහෙයුම් නතර නොකරන බවය.
ප්‍රංශය ඇතුළු රටවල් රැසක් පලස්තීනුවන්ගේ රටකට ඇති අයිතිය පිළිගැනීම විවේචනයට ලක් කළ ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, මේ අවස්ථාවේ පලස්තීන රාජ්‍යයක් බිහි කිරීම ජිහාඩ් දේශයක් බිහිකිරීමක් බවයි.
එහෙත් එවැන්නක් සිදුවීමට ඉඩ නොදෙන බවත් ඔහු අවධාරණය කළේය.
සාගින්න සහ මරණය වෙලාගත් පලස්තීන ගාසා තීරයේ දර්ශන ලොව පුරා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වද්දී, ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගෙන සිටීමට ජාත්‍යන්තර ප්‍රජාවට ද හැකියාවක් නැහැ.
විශේෂයෙන් ඒ සඳහා මේ දක්වා ඊශ්‍රායලයේ ප්‍රබල සහායකයන් වූ බටහිර රටවලට එල්ල වන්නේ විශාල පීඩනයක්.
ඒ නිසයි ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර් ඔහුගේ කැබිනට් මණ්ඩල රැස්වීමක් හදිසියේ කැඳවූවේය.
රැස්වීමෙන් පස්සේ අගමැති ස්ටාමර් ඔවුන් එහිදීගත් තීරණය ප්‍රකාශයට පත්කළේය.
ගාසා තීරයේ මේ බියජනක තත්ත්වය අවසන් කිරීම සඳහා ප්‍රමාණවත් පියවර නොගතහොත් ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී බ්‍රිතාන්‍යයත් පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව ඔහු කියා සිටියේය.
ඒ සඳහා ඊශ්‍රායලය සටන් විරාමයකට එළඹිය යුතු බවත්, පලස්තීන බටහිර ඉවුරේ ඊශ්‍රායලයට ඈඳා ගැනීමෙන් වැළකී සිටිය යුතු බවත් බ්‍රිතාන්‍යය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම ඊශ්‍රායලය සහ පලස්තීන යන එකිනෙකා සමග සංහිඳියාවෙන් ජීවත්වන රටවල් දෙකක් බිහිකිරීමේ පියවර සඳහා වූ දිගු කාලීන සාම ක්‍රියාවලියට ඊශ්‍රායලය කැපවිය යුතු බවයි බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර් සඳහන් කළේය.
බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය පලස්තීන අධිකාරියේ ජනපති මහමුද් අබ්බාස්ගේ ප්‍රසාදයට ලක්වුණි.
එහෙත් ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ එවැනි පියවරකින් වාසිය අත්වන්නේ හමාස් සංවිධානයට බවය.
ඊශ්‍රායල දේශසීමාවේ ජිහාඩ් රාජ්‍යයක් බිහිවීම, හෙට දිනයේ බ්‍රිතාන්‍යයට ද තර්ජනයක් වනු ඇති බව ඔහු සඳහන් කළේය.
ස්කොට්ලන්තයේ සංචාරය නිමවා නැවත අමෙරිකා එක්සත් ජනපදය බලා යමින් සිටියදී සිය නිල ගුවන් යානය එයාර්ෆෝස් වන් තුළදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ පලස්තීනුවන්ට රටක් බිහිකරලීම ගැන තමා බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමග සාකච්ඡා නොකළ බවය.
එහෙත් බ්‍රිතාන්‍යය එවැනි පියවරක් ගැනීම පිළිබඳ ඔහුට ගැටලුවක් නොමැති බවත් (NOT MIND) ජනපති ට්‍රම්ප් කියා සිටියේය.
කෙසේ නමුත් පලස්තීනුවන්ගේ නිදහස පිළිගැනීම තුළින් හමාස් සංවිධානයට ප්‍රතිලාභයක් අත් නොවිය යුතු බව ජනපති ට්‍රම්ප් අවධාරණය කළේය.
ගාසා තීරය සහ බටහිර ඉවුර එක්කොට නැගෙනහිර ජෙරුසෙලම අගනුවර කරගත් පලස්තීන රාජ්‍යයක් බිහිකරලීම පලස්තීනුවන් දිගු කලක සිට දකින සිහිනයක්.
ඒ සඳහා දැන් ජාත්‍යන්තර අවධානය යොමු වී ඇත්තේ ගාසා තීරයට ඇතුළුවන සහ පිටවන සියලු පිවිසුම් පාලනය කරන ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන මෙහෙයුම් හේතුවෙන් එහි ඇති වී තිබෙන ඛේදනීය වාතාවරණය හේතුවෙනි.
ගාසා තීරයට සහනාධාර ලබාදීම සඳහා පැවති සීමාවන් ලිහින් කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කළත්, තාවකාලික සටන් නැවැත්වීම් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුවත් ප්‍රමාණවත් ආහාර ආධාර ගාසා තීරයට රැගෙන ඒම සඳහා ඊශ්‍රායල අවසරය නොලැබුණු බවයි ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.
මේ අතර 2024 වසරේ හොඳම වාර්තා චිත්‍රපටය ලෙස ඔස්කාර් සම්මාන දිනූ ‘NO OTHER LAND‘ චිත්‍රපටයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ පලස්තීන ක්‍රියාකාරිකයෙකු බටහිර ඉවුරේ යුදෙව් පදිංචිකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.
යුදෙව් වැසියන් වෙත ගල්මුල් වලින් පහරදුන් පිරිසකට මේ ඊශ්‍රායල ජාතිකයා වෙඩි තබා ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය.
එහෙත් එම සිද්ධිය සිය ජංගම දුරකථනය මඟින් ඔවුඩේ හතලීන් නැමැති මෙම පලස්තීන ක්‍රියාකාරිකයාගේ සොහොයුරා විසින් පටිගත කර තිබුණි.
එහි දැක්වෙන ආකාරයට යුදෙව් පදිංචිකරුවා විසින් ප්‍රකෝප කිරීමකින් තොරව පලස්තීනුවන් වෙත මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
ඔස්කාර් සම්මාන දිනූ වාර්තා චිත්‍රපටයෙන් දැක්වුණේ බටහිර ඉවුරේ පලස්තීනුවන් යුදෙව් පදිංචිකරුවන් වෙතින් දිනපතා විඳින පීඩාවන් පිළිබඳවයි.
වෙඩි තැබීම සිදුකළ යුදෙව් පදිංචිතරු යිනොත් ලෙවි, පලස්තීනුවන්ට සිදුකරන හිරිහැර නිසා අමෙරිකාවේ සහ යුරෝපා සංගමයේ සම්බාධකවලට ලක්වූ අයෙක්.
අමෙරිකාව ඔහුට සම්බාධක පනවා තිබුණේ බයිඩ්න් පරිපාලන සමයේදී.
මේ සිද්ධියෙන් පසු ඊශ්‍රායලය යිනොන් ලෙවි අත්අඩංගුවට ගත්තත් පසුව ඔහු නිවාස අඩස්සිය සඳහා මුදාහැර තිබේ.
ඔස්කාර් සම්මාන දිනූ 'නෝ අදර් ලෑන්ඩ්' චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා වූ පලස්තීන ජාතික හම්ඩන් බල්ලාල් ද පසුගිය මාර්තුවේදී ඊශ්‍රායල වෙඩි පහරින් තුවාලලැබූවත්, ඊශ්‍රායලය විසින් ඔහු රඳවාගනු ලැබුවේ සිද්ධියෙන් වරදකරුවෙකු ලෙසිනි.
1967 යුද්ධයේදී ඊශ්‍රායලය, ජෝර්දානය වෙතින් අල්ලාගත් ජෝර්දාන ගගේ බටහිර ඉවුරේ මිලියන 2.7ක් පමණ පලස්තීනුවන් අතර පදිංචි කළ යුදෙව් ජාතිකයන් සංඛ්‍යාව දැන් 700,000 ඉක්මවා තිබේ.
මේ අතර ගාසා තීරයේ පලස්තීන ජන සංහාරයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා ලැබූ ඊශ්‍රායල අමාත්‍යවරුන් දෙදෙනෙකුට තම රටට ඇතුළුවීම වළක්වාලමින් නෙදර්ලන්තය ඊයේ නියෝගයක් නිකුත් කළේය.
නෙතන්යාහුගේ කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්රිච් සහ ජාතික ආරක්ෂක අමාත්‍ය ඉට්මාර් බෙන්-ගවීර්ට එරෙහිවයි මේ නියෝගය නිකුත් කර ඇත.
ඔවුන් බටහිර ඉවුරේ පලස්තීනුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන බවට ද චෝදනා එල්ල වේ.
මේ අතර ගාසා තීරයේ මානුෂීය ඛේදවාචකය සමනය කිරිමට නම් දැනට කාන්දු වෙමින් පවතින ආහාර, ඖෂධ ඇතුළු සහනාධාර සාගරයක් විය යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් X අවකාශයට පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ ගාසා තීරයේ සාගතය අනතුරු ඇඟවීමක් නොව අප ඇස් ඉදිරිපිට දැකිය හැකි යථාර්ථයක් බවය.