ධුරයට සමුදුන් අගවිනිසුරුවරිය 45 වසරක මතක අවදි කරයි
July 25, 2025 04:20 pm
ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප්‍රකාශයට පත්කිරීමට යෙදුණු තීන්දු ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට හේතුවූ බව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (25) ප්‍රකාශ කළාය.
විශ්‍රාම යාමට නියමිත අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම ගැනීම නිමිත්තෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති චාරිතානුකූල සමූදීමේ උත්සවය අමතමින් අගවිනිසුරුවරිය මේ බව කියා සිටියාය.
එහිදී අදහස් පළ කළ අගවිනිසුරුවරිය තමන් මීට වසර 45කට පමණ පෙර නීති ශිෂ්‍යාවක් ලෙස අලුත් කඩේ ප්‍රදේශයට පැමිණි බවත් ඉන් පසුව නීතිඥ සංගමයේ සාමාජිකාවක බවට පත්වී අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක මෙන්ම අග්‍රවිනිශ්චකාර ධුරයටද පත්වීමට හැකි වූ බව සඳහන් කළාය.
මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ 48 වන අගවිනිසුරුවරිය ලෙස පත්වීමට තමාට හැකි වූ බවත් අගවිනිසුරුවරයෙකුගේ කාර්යභාරය හුදෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම පමණක් නොවන බවත් ඇය අවධාරණය කළාය.
විනිසුරුවරු අධිකරණයේ ආචාරධර්ම හා සම්මතයන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් එම සම්මතයන් බිඳ දැමීම සමාව දිය නොහැකි පාපයක් බවත් ඇය සඳහන් කළාය.
මෙම සම්මතයන් ආරක්ෂා කිරීමට සියලු අධිකරණවල විනිසුරුවරු බැඳී සිටින බවත් ඇය කියා සිටියාය.
මේ වන විට තරුණ තරුණියන් විශාල පිරිසක් නීති ක්ෂේත්‍රයට පිවිසෙන බවත් ඔවුන් විවිධ ගැටලුවලට මුහුණපාණ බවත් ඔවුන් නීතියේ ආචාරධර්ම හා සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් අගවිනිසුරුවරිය ප්‍රකාශ කළාය.
අධිකරණයේ ස්වාධීනත්වය සහ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා විනිසුරු මණ්ඩලයේ මෙන්ම නීතිඥ මණ්ඩලය ද අනෝන්‍ය සහයෝගයෙන් කටයුතු යූතු බවත් එම දෙපාර්ශවයේ සහයෝගය තමන්ට ලැබුණු බවත් ඇය සඳහන් කළාය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවගේ අයිතිවාසිකම් මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ද ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් ප්‍රධාන නඩු තීන්දුවලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් වී ඇති බව සඳහන් කළ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඊට තමන්ද කොටස්කාරියක වීම ගැන ආඩම්බරයට පත්වන බවත් සඳහන් කර සිටියාය.
මෙම උත්සවය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණවල විනිසුරුවරු, නීතිපති සහ ජනාධිපති නීතීඥ පාරින්ද රණසිංහ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය, ඇතුළු නීතිඥවරු විශාල පිරිසක් සහභාගී වූහ.