පොලිස් විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

පොලිස් විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

July 25, 2025   03:30 pm

මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ (24) දිනය පුරාවටද පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකර තිබේ.

පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් ඇතුළුව පුද්ගලයින් 7,100කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වී ඇති අතර එහිදී පුද්ගලයින් 25,671 දෙනෙකු මෙන්ම වාහන 10,360ක් හා යතුරු පැදි 7,833න ප්‍රමාණයක් ද පරීක්ෂාවට ලක් කර ඇත.

මෙම මෙහෙයුම් අතරතුරදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1504ක ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160ක් සහ මිලිග්‍රෑම් 809ක ප්‍රමාණයක්ද හොරොයින් ග්‍රෑම් 214යි මිලිග්‍රෑම් 705ක ප්‍රමාණයක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

එමෙන්ම වැටලීමේදී විශේෂ වැටලීම්වලදී අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් 22 දෙනෙකු මෙන්ම විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 520 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

එමෙන්ම 2025 ජුලි මස 18 වන දින සිට 2025 ජුලි 24 දින දක්වා සතිය තුළදී සුලු, මධ්‍ය හා මහා පරිමාණ ජාවරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තුළදී අයිස්  මත්ද්‍රව්‍ය කිලෝ 02 ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක්ද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක්ද ගංජා කිලෝ 82කට අධික ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගැනීමට හැකියාව ලැබී ඇත.