නීතිවිරෝධී පත්කිරීම් සහ අනිතීක ගෙවීම් හේතුවෙන් ජයවර්ධනපුර රෝහලට විශාල මූල්‍ය අලාභයක් - කෝප් වාර්තාවක් හෙළිකරයි
July 24, 2025 04:51 pm
මානව සම්පත් කළමනාකරණය, වත්කම් කළමනාකරණය, ආදායම් කළමනාකරණය සහ මූල්‍ය කළමනාකරණය යන සියලු අංශවලට අදාළව ශ්‍රී ජයවර්ධනපුර මහරෝග්‍යශාලා මණ්ඩලයේ සමස්ත ක්‍රියාවලියම අවිධිමත් බවත්, පසුගිය වසර පහක කාලය තුළ රෝහල අඛණ්ඩව අලාභ ඇති බවත් වාර්තා වේ.
ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් සිදුකරන ලද විමර්ශන වාර්තාවෙහි මේ බව සඳහන් වේ. මෙම වාර්තාව අද (24) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ප්‍රධාන වශයෙන් නීති විරෝධී පත්කිරීම් සහ අනීතික ගෙවීම් හේතුවෙන් විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති බවත්, භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් එකී පත්වීම්ලාභීන්ට වැටුප් ගෙවීම සඳහා අවභාවිතා වන ආකාරය මෙයින් පැහැදිලි වන බවත්, විගණකාධිපති විසින් පෙන්වා දී ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දීමනා ගෙවීම්වල අක්‍රමිකතා සහ බඳවා ගැනීමේ පටිපාටි සම්බන්ධයෙන් අදාළ වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත.
“ශ්‍රී ජයවර්ධනපුර මහරෝග්‍යශාලාවේ නිලධාරීන්ට කර ඇති අනීතික ගෙවීම් සම්බන්ධයෙන් කාරක සභාවට නිරීක්ෂණය විය. 2021 ජූලි 28 සිට 2024 ජූලි 15 දක්වා කාලසීමාව තුළ පුරප්පාඩුවක් හේතුවෙන් වැඩ ආවරණය කිරීමේ පදනම මත නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති අතර, එම නිලධාරියාට නිත්‍ය තනතුරේ වැටුප් හා දීමනා, වැඩ ආවරණය කිරීමේ දීමනා, අමතර රාජකාරී දීමනා සහ ඉන්ධන දීමනා ඇතුළුව විශාල මුදලක් ගෙවා ඇති බව කාරක සභාවට නිරීක්ෂණය විය. ආයතන සංග්‍රහයේ 13.7 වගන්තියට අනුව වැඩ ආවරණය සඳහා පත්කරන ලද නිලධාරියෙකුට අතිරේක දීමනා ලබාදීම නීතිවිරෝධී වන අතර, එම ප්‍රතිපාදනයට පටහැනිව වැඩ ආවරණය කිරීම සඳහා වැටුපෙන් 1/4ක දීමනාවක් ගෙවා ඇති බව කාරක සභාවට නිරීක්ෂණය විය.“
“තවද, රාජ්‍ය සේවයේ සමාන්තර තනතුරු සඳහා පමණක් අමාත්‍ය මණ්ඩල තීරණයකින් අනුමත කළ 35%ක දීමනාවක් ද, විශ්‍රාම වැටුපක් නොමැති වීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහරෝග්‍යශාලා මණ්ඩලයේ සියලුම තනතුරු සඳහා ද මෙම 35% දීමනාව ලබා දී ඇති අතර, එයද අනීතික බව සභාවට නිරීක්ෂණය විය.“
“මෙම නීතිවිරෝධී ගෙවීම් හේතුවෙන් 2022 දී රුපියල් මිලියන 162.47ක් සහ 2023 දී මිලියන 158කට අධික මුදලක් අතිරේකව ගෙවා ඇති බවද කාරක සභාවට නිරීක්ෂණය විය. මෙම වියදම් විධිමත් කළහොත්, ආයතනය භාණ්ඩාගාර ප්‍රතිපාදන නොමැතිව ද ක්‍රියාත්මක කළ හැකි බව කාරක සභාවට නිරීක්ෂණය වූ අතර, විධිමත් බඳවා ගැනීම් පටිපාටි (SoR) නොමැතිවීම මෙම ගැටළු ඇතිවීමට එක් ප්‍රධාන හේතුවක් වන බව ද නිරීක්ෂණය විය. එම පටිපාටි සකස් කර 2025 ජනවාරි මාසයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවට කාරක සභාවට අනාවරණය විය.“
මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් අද (24) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.