ශ්‍රී ලාංකික සිසුන්ට හංගේරියාවේ Stipendium Hungaricum ශිෂ්‍යත්ව තවදුරටත්

ශ්‍රී ලාංකික සිසුන්ට හංගේරියාවේ Stipendium Hungaricum ශිෂ්‍යත්ව තවදුරටත්

July 22, 2025   01:37 pm

හංගේරියාවේ Stipendium Hungaricum ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ උසස් අධ්‍යාපන සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දැනුම මූලික සමාජයක් බිහි කරලීම තුළින් දෙරටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි අන්‍යෝන්‍ය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිණිස හංගේරියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට සැලසුම් කර ඇත. 

2022-2024 කාලසීමාවට අදාළව එළඹුණු අවබෝධතා ගිවිසුමේ දිගුවක් වන මෙම ගිවිසුම හරහා ශ්‍රී ලාංකීය සිසුන්ට ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව අවස්ථා සැලසෙනු ඇත. 

ගිවිසුමේ ඍජු ප්‍රතිලාභ ලෙස ශ්‍රී ලාංකීය සිසුන් සඳහා විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය, වෛද්‍ය විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව සහ කෘෂිකර්මය ආදී ක්ෂේත්‍රයන් යටතේ ප්‍රථම උපාධි අවස්ථා 08ක්, පශ්චාත් උපාධි අවස්ථා 08ක් සහ ආචාර්ය උපාධි අවස්ථා 04ක් ලෙස ශිෂ්‍යත්ව අවස්ථාවන් 20ක් Stipendium Hungaricum ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ වාර්ෂිකව හිමි වනු ඇත. 

යෝජිත අවබෝධතා ගිවිසුම 2025‑2027 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. 

ඒ අනුව, හංගේරියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ අමාත්‍යාංශය සමඟ යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.