ලාංකික තරුණියන්ට ජපානයෙන් රැකියා අවස්ථා

ලාංකික තරුණියන්ට ජපානයෙන් රැකියා අවස්ථා

July 15, 2025   04:38 pm

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන සංවිධානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව තවත් ශ්‍රී ලාංකික තරුණියන් පිරිසකට ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

ජූලි මස 16 දින ජපානය බලා පිටත්ව යාමට නියමිත තරුණියන් 9 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම ඊයේ (14) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලද අතර, ඒ සඳහා මේ දිනවල ශ්‍රි ලංකාවේ නිල සංචාරයක නිරතවන IM Japan ආයතනයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගි විය.

මෙම ජපාන නියෝජිතයින් ඊයේ දින කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා මහතා හමුවූ අතර, එහිදී තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන සහ විශේෂිත නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සඳහා නව රැකියා අවස්ථා ලබා දීම, ඔවුන්ගේ රැකියා වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා රැකියා ක්ෂේත්‍රවලට අදාල ප්‍රායෝගික පුහුණුව ලබා දීම ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

මෙහිදී ජපානයේ සේවයෙහි යෙදෙන ශ්‍රී ලාංකික පුහුණුලාභීන් සහ ශ්‍රමිකයින්ගේ භාෂා හැකියාව සහ ඔවුන්ගේ සේවය පැසසුමට ලක්කරන ලද අතර, තවදුරටත් ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවද ජපාන නියෝජිතයින් සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය 2017 වර්ෂයේ IM Japan සංවිධානය සමග තාක්ෂණික පුහුණුලාභීන් ජපානය වෙත යොමු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අතර, 2023 වර්ෂයේ විශේෂිත නිපුණතා සහිත ශ්‍රමිකයින් ජපානය වෙත යොමු කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් කෙරිණි.

මෙම වැඩසටහන් යටතේ මේ වන විට සාත්තු සේවා, ඉදිකිරීම්, නිශ්පාදන, මෝටර් කාර්මික නඩත්තු සේවා, කෘෂිකර්ම යන රැකියා ක්ෂේත්‍ර යටතේ තාක්ෂණික පුහුණුලාභීන් ලෙස 589 ක් සඳහා ජපානයේ රැකියා අවස්ථා ලබා දී ඇති අතර, හෙද සත්කාරක සහ ආහාර සේවා කර්මාන්තය යටතේ විශේෂිත නිපුණතා සහිත ශ්‍රමිකයින් 43 දෙනෙකු ජපානය වෙත යොමු කර ඇත. 

එසේම මේ වන විට තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන යටතේ ඉදිරියේදී ජපානය වෙත යාමට නියමිත පුහුණුලාභීන් 80 කට ආසන්න පිරිසක් සහ විශේෂිත නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ සමාගම් සඳහා තෝරාගෙන ඇති ශ්‍රමිකයින් 30 ක් පෙර විගමනික පුහුණුව ලබමින් සිටී.