තැපැල් වර්ජකයින්ට ඇමතිගෙන් සැර පිළිතුරක්
July 15, 2025 01:42 pm
සාකච්ඡා වට ගණනාවක් සිදුකර ඇති පසුබිමක තැපැල් සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, රජය අදාළ ගැටලු සම්බන්ධයෙන් සාධනීයව මැදිහත් වෙමින් සිටින පසුබිමක මෙලෙස වැඩවර්ජනයකට යොමුවීම තුළින් තැපැල් සේවයට කිසිදු වාසියක් අත්නොවන බවය.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් අද (15) මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"තැපැල් දෙපාර්තමේන්තුව දුවන්නේ පාඩුවට. අපිට මීට අවුරුදු එකසිය ගාණකට කලින් තිබුණ තැපැල් දෙපාර්තමේන්තුව නෙමෙයි දැන් අවශ්‍ය කරන්නේ, තවත් වාණිජ ආයතන ගණනාවක් සමග තරග කළ හැකි නවීකරණය කළ තැපැල් දෙපාර්තමේන්තුවක්.
තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලැබුවොත් තමා භාණ්ඩාගාරය හරහා රටට වාසියක් අත්වෙන්නේ සහ තැපැල් දෙපාර්තමේන්තුවට විශ්වාසයක් කීර්තිනාමය ආරක්ෂා කරගැනීමට විශාල මැදිහත් වීමක් කළ යුතුව තියෙනවා.
ඉතින් මෙවැනි වැඩවර්ජනවලින් තැපැල් දෙපාර්තමේන්තුවට හෝ තැපැල් සේවයට කිසිදු වාසියක් නෑ. වෙන්නේ තවත් අඩියක් දෙකක් පස්සට යන එක. ඒ නැති වුණ විශ්වාසය යළි අත්පත් කරගන්න තවත් කාලයක් ගත වෙනවා.
ඒ නිසා සමහර ඉල්ලීම් ක්ෂණිකව විසඳන්න පුළුවන් ඒවා නෙමෙයි. නිරන්තරයෙන් අපි අදහස් හුවමාරු කරගන්නවා. මේ විටින් විට සිදුකරන වැඩවර්ජන නිසා ඇත්තටම තමන්ගේ සේවයටම හානියක් කරගන්නවා. ඔබ අතර තියෙන තරගය නිසා මේ විටින් විට පැය 24 පැය 48 වැඩවර්ජන කිරීම ඇතුළේ තැපැල් සේවයත් විනාශ කරගන්නවා, විදිමත් සාකච්ඡාවකින් තොරව මේ වැඩවර්ජන කිසිසේත්ම සාධාරණ නෑ. මේ වර්ජන අනුමත කරන්න බෑ. පහුගිය කාලේ විටින් විට වැඩවර්ජන සිදුකළා මේකෙන් අපේක්ෂිත මුල්‍යමය ඉලක්කයට යන්නත් බැරිකමක් තියෙනවා."