අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට තැත් කළ ලාංකිකයින් තිදෙනෙකු අල්ලයි

අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට තැත් කළ ලාංකිකයින් තිදෙනෙකු අල්ලයි

June 29, 2025   12:17 pm

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සමත් වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා වෙරළට ආසන්නව පිහිටා ඇති දේශසීමා සහ නීතිවිරෝධී ක්‍රියා නිරන්තර සිදුවන ධනුෂ්කොඩි අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

ඊයේ (28) දිනයේදී  ලද තොරතුරක් මත ක්‍රියාත්මක වී ඇති ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුට ගත් තිදෙනාගෙන් දෙදෙනෙකු සිංහල ජාතිකයින් බවත් එක් අයෙකු දෙමළ ජාතිකයෙකු බවද වාර්තා වේ.

ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධව නඩුවකදී අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි අයෙකු බවත් අනෙක් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ වාර්තා ඇති අය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම තිදෙනා රුපියල් ලක්ෂ 02 බැගින් ගෙවා සිකුරාදා රාත්‍රීයේදී මෙරටින් පිටත්වී ඇති අතර ඔවුන් අලුයම 04 වන විට තමිල්නාඩුව වෙත පැමිණ වෙනත් රටකට පළා යාමට සැලසුම් කර තිබූ බවත් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා මණ්ඩපම් හී රාජ්‍ය සමුද්‍ර පොලීසිය වෙත භාර දී ඇතැයිද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.