සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් කරපු වැඩක්
June 26, 2025 07:26 pm
අයථා ලෙස වත්කම් රැස්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අද (26) අල්ලස් කොමිසමට කැඳවා තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් කොමිසම පැවසුවේ, අයථා ලෙස වත්කම් රැස්කිරීමේ සිද්ධියකට අදාළව දූෂණ විරෝධී පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවය.
සැකකරු පානදුර, පිංවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම සඳහා තම බිරිඳගේ නමින් පවතින ගිණුමකට රැස්කළ මුදලින් ලක්ෂ 350කට ආසන්න මුදලක් සැකකරු අයථා ලෙස පරිහරණය කර ඇති බවත් මෙහිදී විමර්ශන නිලධාරින් කියා සිටියේය.
පිළිම වහන්සේ නිර්මාණය සඳහා මුදල් රැස්කරන බවට වූ දිවුරුම් ප්‍රකාශය ලබාගෙන ඇත්තේ එම විහාරස්ථානයේ රෝගීව සිටී හිමිනමකගෙන් බවත්, උන්වහන්සේ එම අත්සන යොදාඇත්තේ, එය කියවා බැලීමකින් තොරව බවත් අධිකරණයේදී අනාවරණ වී ඇත.
මෙහිදී සැකකාර ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන කියා සිටියේ, තම සේවා දායකයාට සේවා කාලය තුළ වාහන බලපත්‍ර හතරක් පමණ ලැබී ඇති අතර ඒවා විකිණීමෙන් මුදල් උපයාගෙන ඇති බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ජුලි 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.