එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් දිවයිනට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් දිවයිනට

June 23, 2025   05:58 pm

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.

දිවයිනට පැමිණි ඒ මහතා එළැඹෙන 26 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසීය.

2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙය වේ.

දිවයිනට පැමිණි ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද හමුවීමට නියමිතය.

එමෙන්ම විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතය.

එමෙන්ම මෙරට මානව හිමිකම් කොමිසම සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගේ සංචාරය අතරතුර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගැනීමටද නියමිත අතර මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හී මහනාහිමිවරුන් බැහැදැකීමට නියමිත බව සඳහන් වේ.

මීට අමතරව යාපනය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.