මාතලේ මහ නගර සභාවේ බලයත් මාලිමාවට
June 23, 2025 10:58 am
මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ අශෝක කොට්ටහච්චි මහතා තේරී පත්ව තිබේ.
ඒ ඡන්ද 12ක් හිමිකර ගනිමින්ය.
උප සභාපතිවරයා ලෙස ලෙස කම්කරු කොංග්‍රසය නියෝජනය කළ එම්. මෝගන් මහතා නිතරගයෙන් තේරී පත්ව ඇත.
මාතලේ මහ නගර සභාවේ බහුතර බලය කිසිදු පක්ෂයට හිමි නොවීම හේතුවෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ සහභාගීත්වයෙන් නගරාධිපතිවරයෙකු හා උප නගරාධිපතිවරයෙකුත් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම මාතලේ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී අද (23) පැවැත්විය.
ඡන්ද විමසීම ආරම්භ වී සුළු වේලාවකින් පසු සමගි ජන බලවේගය ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඡන්දය වර්ජනය කර රැස්වීම් ශාලාවෙන් පිටව ගොස් තිබේ.
ඉන් අනතුරුව සභාවේ ඝණ පූර්ණය සිටින බැවින් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් ඡන්දය පැවැත්වා ඇත.
එහිදී නගරාධිපති හා උප නගරාධිපති තෝරා පත් කර ගැනීම සිදුවූ බව 'අද දෙරණ' වාර්තාකරු පැවසීය.
සභාව වර්ජනය කළ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කර සිටියේ, පළාත් පාලන පනතට පටහැනිව සභික ධූරයක් දැරීමට නොහැකි මන්ත්‍රීවරියක් සභාවේ සිටින බැවින් ඇයට විරුද්ධව ඔවුන් සභාවෙන් පිටව යන බවත් මෙම ඡන්ද විමසීම නීතිවිරෝධී බවත්ය.
පළාත් පාලන ඡන්ද විමසීමේදී මාතලේ මහ නගර සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 10ක් හිමිව තිබුණි.
මීට අමතරව, සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 06ක්, කම්කරු කොංග්‍රසයට මන්ත්‍රී ආසන 02ක්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසනයක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසනයක්, සර්වජන බලය පක්ෂයට මන්ත්‍රී ආසනයක් සහ එක්සත් ජාතික සන්ධානයට මන්ත්‍රී ආසනයක් ලෙස පළාත් පාලන ඡන්ද විමසීමේදී ජයග්‍රහණය කර තිබුණි.