ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

June 22, 2025   11:49 am

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

මැදපෙරදිග ගැටුම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ දවස පුරා මෙම තත්ත්වය වර්ධනය විය හැකි බව ඊශ්‍රායල ආරක්ෂක අධිකාරිය අනතුරු අඟවා ඇති බවය.

ඒ අනුව ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් මෙම තත්ත්වය හමුවේ එල්ල විය හැකි ප්‍රහාරවලින් බේරීම සඳහා ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා තිබේ.

මේ අතර පසුගිය 20 වැනි දින රාත්‍රීයේදී TABA දේශසීමාව  හරහා ශ්‍රී ලංකාව වෙත පිටත්වීමට ඊජිප්තුවට ඇතුල් වූ ශ්‍රී ලාංකිකයින් හතර දෙනාගෙන් වලංගු ඊශ්‍රායල් වීසා නොමැතිව සිටි පිරිස හේතුවෙන් පැය කිහිපයක් රඳවාගෙන ප්‍රශ්න කර තිබුණද පසුව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න මහතා සහ කාර්ය මණ්ඩලය විසින් ඊජිප්තුවේ ආරක්ෂක හා දේශසීමා කණ්ඩායම් සමග කළ සම්බන්ධීකරණයෙන් පසු ආරක්ෂක හමුදාවේ සහායෙන් ඔවුන් ඊයේ (21) උදෑසන කයිරෝ ගුවන් තොටුපොල වෙත පැමිණ ඇති බව නිමල් බණ්ඩාර මහතා පවසයි.

තානාපතිවරයා පැවසුවේ ඔවුන් අද උදෑසන කයිරෝ ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාව බලා පිටත් වීමට නියමිතව තිබූ බවය. 

තවද ඊයේ දවස තුළ ශ්‍රී ලංකාව බලා පිටත්වීමේ අපේක්ෂාවෙන් තිදෙනෙක් පැමිණි අතර තානාපති කාර්යාලය විසින් ඔවුන්ට අවශ්‍ය ලියකියවිලි සකස් කර දුන් බවත් ඔවුන් පිරිසද TABA දේශසීමාව හරහා කයිරෝ ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

RE - ENTRY වීසා කාලය දීර්ඝ කර ගැනීමට තානාපති කාර්යාලයේ සහාය

මේ අතර දැනට ඊශ්‍රායලයේ සේවය කර ශ්‍රී ලංකාවට නිවාඩු ලෙස පැමිණි තවත් 119 දෙනෙකුගේ කණ්ඩායමක් සිටින බව තානාපති කාර්යාලය වෙත දන්වා ඇති බවත් එයට අමතරව ඩුබායි හා අබුඩාබි ගුවන්තොටුපොළවල රැඳි සිටි 10 දෙනෙකුද නැවත ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් ඇති බවත් තානාපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව ඔවුන්ගේ RE -ENTRY වීසා කාලය දීර්ඝ කර ගැනීමට  PIBA ආයතනය වෙත දන්වා ඇතැයිද පැවසූ තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නොව ඉරාන ප්‍රහාර ආරම්භ වීම හේතුවෙන් RE -ENTRY වීසා කාලය ඉකුත් වූ සියලුම විදේශිකයින්ට නැවත ඊශ්‍රායලයට පැමිණීමට හැකිවන පරිදි නැවත ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ වූ වහාම පියවර ගන්නා බව ඔවුන් පවසා ඇති බවය. ඒ අනුව ශ්‍රී ලාංකිකයින්ගේ වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

ඉන්දීය මෙහෙයුම ඊශ්‍රායලයටත් - ශ්‍රී ලාංකිකයින්ටත් තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

එමෙන්ම ඉන්දීය රජය විසින් ඉල්ලුම් කරන ලද ඉන්දියානු ජාතිකයින් තම රටට රැගෙන යාම සඳහා ජෝර්දානයේ අම්මාන් නගරයේ සිට නවදිල්ලි ගුවන් තොටුපොළ දක්වා වරින්වර ගුවන් යානා යොදවා ඇති බව ඊශ්‍රායලයේ වෙසෙන ඉන්දීය තානාපතිවරයා පැවසූ බවත් ඒ අනුව මෙම ගුවන් මාර්ගය භාවිත කොට අම්මාන් ගුවන් තොටුපොළ හා නව දිල්ලි ගුවන් තොටුපොළ හරහා ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට අපේක්ෂා කරන පිරිස් වේ නම් තානාපති කාර්යාලයට පැමිණ ලියාපදිංචි වන ලෙසද ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.‍

දෙරටින් පිටව ගිය ශ්‍රී ලාංකිකයින් ගණන ගැන අමාත්‍යාංශය යාවත්කාලීන කරයි

මේ අතර ඊශ්‍රායලයේ සහ ඉරානයේ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලින් ලද තොරතුරු අනුව ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් පිටත්වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අද (22) නිකුත් කළේය.

ඒ අනුව ඊශ්‍රායලයෙන් මේ වන විටත් පිටව ගිය මුළු ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 5 දෙනෙකු බවත් පිටව යාමට බලා සිටින පිරිස තිදෙනෙක් බවත් අමාත්‍යංශය සඳහන් කළේය.

එමෙන්ම ඉරානයෙන් පිටව ගිය මුළු ශ්‍රී ලාංකිකයින් සංඛයාව 04ක් වන අතර පිටව යාමට බලා සිටින පිරිස සිව් දෙනෙකු බවද අමාත්‍යංශය පැවසීය.