දුන්හිඳ බස් අනතුරින් තුවාල ලැබූවන් බලන්න නියෝජ්‍ය ඇමතිත් යයි

දුන්හිඳ බස් අනතුරින් තුවාල ලැබූවන් බලන්න නියෝජ්‍ය ඇමතිත් යයි

June 22, 2025   09:35 am

බදුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී ඊයේ (21) සිදුවු අනතුරින් තුවාල ලැබූවන් 31 දෙනෙකු තවදුරටත් බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව බදුල්ල ශික්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී ඊයේ වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් පෙරළී ගොස් අනතුරක් සිදුවූ අතර අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

අනතුරින් මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකි.

ඔවුන් අනුරාධපුර, තඹුත්තේගම පහළගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් ඊයේ දින බදුල්ල මුතියංගන වෙහෙර වැඳපුදාගෙන නැවත නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබුණි.

මේ අතර සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාද අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට පැමිණ තිබුණි.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තුවාල ලැබූවන් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම සිදු කිරීමට රජය කටයුතු කරන බවය.

මේ අතර අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය ධාවනය කර ඇත්තේ රිය සහයකවරයෙකු බවද පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය කරගෙන තිබේ.

ඒ අනතුර සම්බන්ධව බස් රථයේ රියදුරු සහ රිය සහායක බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදීය.

එමෙන්ම අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය කරගෙන තිබේ.

මේ අතර ප්‍රදේශවාසීන් පැවසුවේ මෙම ස්ථානයේ සිදුවන අනතුරු ඉහළ යාමක් පෙන්නුම් කරන බවය.

මින් පෙර ආරක්ෂක විද්‍යා පීඨ සිසුන් හා උපදේශකයින් ගමන් ගත් බස් රථයක්ද තිරිංග නොමැතිව ගොස් අනතුරට පත්ව ඇත්තේද මෙම ස්ථානය ආසන්නයේය.

එම අනතුරින් ආරක්ෂක විද්‍යාපීඨ ශිෂ්‍යාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 40 දෙනෙකු තුවාල ලැබීය.

එමෙන්ම මෙම ස්ථානයට ආසන්නයේදී හමුදාවට අයත් ස්කැමල් යන්ත්‍රයක් තිරිංග දෝශයක් හේතුවෙන් අනතුරට පත්වූ අතර ත්‍රීරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරුපැදිකරුවෙකු බරපතළ තුවාල ලැබීය.

එමෙන්ම ඊයේ දින සිදුවූ මෙම බස් රථ අනතුර සම්බන්ධව බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ද අදහස් දැක්වීය.

එහිදී වෛද්‍යවරයා පැවසුවේ අනතුර සිදුවූ අවස්ථාවේදී හදිසි ප්‍රතිකාර ඒකක, දැඩිසත්කාර ඒකක, නිර්වින්ද වෛද්‍යවරු මෙන්ම විශේෂඥ වෛද්‍යවරු අදාළ ස්ථානයට කැඳවූ බවත් ඒ අනුව තුවාලකරුවන් වහා රෝහල් ගත කිරීමට පියවර ගත් බවත්ය.

තවද වෛද්‍යවරයාද පෙන්වා දුන්නේ මෙම ස්ථානයේ මින් පෙරද අනතුරු කිහිපයක් සිදුව ඇති බැවින් ඒ සම්බන්ධව යම් ගැටලුවක් පවතින බවය.

පිටින් එන රියදුරන් මාර්ගය සම්බන්ධව නිසි දැනීමක් නොමැති බැවින් බොහොමයක් අනතුරු සිදුව ඇති බව වාර්තා වන බැවින් මේ සම්බන්ධව බලධාරීන් යම් විසඳුමක් ලබා දිය යුතු බවද වෛද්‍යවරයා අදහස් දක්වමින් පැවසීය.