ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

June 21, 2025   07:38 am

ව්‍යාජ මුදල් නෝට්ටුවක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී කරුණු රැසක් අනාවරණය කරගැනීමට හතරලියද්ද පොලිස් ස්ථානයට හැකිව තිබේ.

ඊයේ (20) දහවල් හතරලියද්ද ප්‍රදේශයේ වෙළෙඳ සැලකට පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් 5,000 මුදල් නොට්ටුවක් ලබාදීමක් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී මේ බව අනාවරණය වී ඇත.

ඒ අනුව ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි උඩුව, මහනුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු සන්තකයේ තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 03ක්, රුපියල් 500 ව්‍යාජ මුදල් නොට්ටු 02ක්, රුපියල් 100 ව්‍යාජ මුදල් නොට්ටු 02ක් හමුවී ඇත.

එමෙන්ම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 50 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 09ක්, ව්‍යාජ රුපියල් 100 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 500 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 06ක් තිබී සොයාගෙන තිබේ.

මේ අතර මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් ගලගෙදර ප්‍රදේශයේ පිහිටි ආයතනයකට ගොස් ඇත.

කෙසේ වෙතත් සැකකරු එම අවස්ථාවේ ආයතනයේ සිට නොමැති අතර, මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිඝණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

හතරලියද්ද පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.