සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
June 18, 2025 11:59 am
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවකවධ සිද්ධියකට මුහුණපා සිය දියවි නසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, ඒ පිළිබඳව පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස වගඋත්තර කරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා ජූලි මස 18 වනදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.
මෙම පෙත්සම අද එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 18 වනදා කැඳවන ලෙසය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය, එහි ලේකම් චතුර ගල්හේන යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කළේය.
එහි වගඋත්තරකරුවන් ලෙස සරගමුව විශ්වවිද්‍යාලය, එහි උපකුලපතිවරයා ඇතුළු පාලක සභාවේ සාමාජිකයින්, උසස් අමාත්‍යාංශය් ලේකම්, ආරක්ෂක ලේකම්, පොලිස්පති, වැඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු 69 දෙනෙකු නම් කර තිබේ.
නීතිඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ, ඉකුත්දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවකු වන චරිත් දිල්ෂාන් දයානන්ද නමැති තරුණයකු බරපතළ නවක වධයකට මුහුණ දී මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳව සලකාබලා මෙම මහජන සුභසාධන නඩුකරය ඉදිරිපත් කිරීමට තීරණය කළ බවය.
රාජ්‍ය අධ්‍යාපන ආයතන තුළ නවකවධය පිටුදැකීමට සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් වාර්තා වූ බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් හේතුවෙන් විශ්වවිද්‍යාල ඇතුළු රාජ්‍ය අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට දැඩි අගතියක් සිදුවන බවත් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවීම අත්‍යවශ්‍ය බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන නවකවධය හේතුවෙන් මරණයට පත් වූ අදාළ සිසුවාගේ මරණය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකන් නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
එමෙන්ම විශ්වවිද්‍යාල තුළ නවකවධය පිටුදැකීම සඳහා පවතින නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කරන ලෙස ඒවායේ බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත්, එවැනි වැරදි ක්‍රියාකරන පුද්ගලයින්ට එරෙහිව 1998 අංක 20 දරන නවකවධය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර සංගමය අධිකරණයෙන් අයැද සිටි.
ඊට අමතරව නවකවධයෙන් සිසුන් පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙසත් ඊට අමතරව එවැනි සිද්ධීන්වලින් පීඩාවට පත්වන සිසු සිසුවියන්ට වින්ඳිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ අවශ්‍ය ආරක්ෂාව ලබාදිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.