ඉරාන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ අලුත්ම තත්ත්වය
June 18, 2025 02:02 pm
ඊශ්‍රායල් ආරක්ෂක තත්ත්වය සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් යාවත්කාලින කරමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන නාගරික කලාපයන් ඉලක්ක කොට එල්ල කරන බැලස්ටික් මිසයිල ප්‍රහාර ඊයේ (17) දවසේ සහ රාත්‍රිය මුළුල්ලේ ක්‍රියාත්මකවූ බවය.
එයින් කිහිපයක් හැර අනෙක් සියල්ල සම්පුර්ණයෙන් විනාශ කිරීමට ඊශ්රායිල් ආරක්ෂක අංශ සමත්වූ බවත් සඳහන් කරයි.
"ඊයේ උදෑසන් 8:45 පමණ ඊශ්‍රායලයේ තානාපති නිලධාරීන් බොහෝ දෙනෙකු පදිංචිව සිටින ටෙල් අවිව් නගරයට උතුරින් පිහිටි හර්සිලියා (Herzliya) නාගරික ප්‍රදේශයේ බස් ඩිපෝවක් අසලට ඉරාන බැලස්ටික් මිසයිලයක් කඩාවැටීම හේතුවෙන් එහි නවතා තිබු බස්රථ ගණනාවක් ගිනිබත් වුණා. තානාපති නිලධාරීන් හා අනෙකුත් ජනයා ජීවත්වන් නිවාස බොහොමයක් දෙදරීමට ලක්වී තිබුණා"
"හර්සිලියා ප්‍රදේශයට වැටුණු මිසයිලය, ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයේ මුලස්ථානයට එල්ල කරන ලද මිසයිලයක් ලෙස ව්‍යාජ පුවත් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබු අතර ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි හා සමහර මාධ්‍යවේදීන් පවා එම පුවත් සත්‍ය පුවතක් ලෙස වාර්තා කර තිබුණා. ඒ පිළිබඳව විමසීම් කරන ලද සියලු දෙනාට සත්‍ය සිදුවීම පැහැදිලි කළා."
"අන්තර්ජාලයේ පළ කරන ලද මෙවැනි අසත්‍ය තොරතුරු නැවත ප්‍රචාරය නොකරන් ලෙසත්, සත්‍ය තොරතුරු හා උපදෙස් සඳහා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශයේ (IDF)වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබාගන්නා ලෙස කාරුණිකව දනුම් දෙනවා."
"රාත්‍රී කාලයේ එක දිගට එල්ල කරන ලද ඉරාන මිසයිල ප්‍රහාර නිසා වැඩිහිටි හා දරුවන් රාත්‍රිය මුළුල්ලේ ආරක්ෂිත කුටිවලම කාලය ගත කර තිබුණා."
"මහජන ඒකරාශීවීම් සහ උත්සව අවස්ථා සංවිධානය නොකරන් ලෙස දැනුම්දීම හේතුවෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් පොසොන් මාසය සිහිකිරීම සඳහා ටෙල් අවිව, හර්සිලියා, ජෙරුසෙලම් හා හයිෆා නගරවල සංවිධානය කර තිබූ පොසොන් පිංකම් හා දන්සල් පහක් කල්දමා තිබෙනවා."
"තම දරුවාගේ හදිසි මරණය හේතුවෙන් ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය බව පවසමින් ගාල්ල ප්‍රදේශයේ සිට ඊශ්‍රායලයේ සේවයට පැමිණි අයෙකු තානාපති කාර්යාලයට පැමිණ තිබුණා."
"පවතින තත්ත්වය මත ශ්‍රී ලංකාවට යාමය ඇති අපහසුතාව පහදා දුන් අතර එලාට් නගරය හරහා ඊජිප්තුවට ගොස් එහි සිට ශ්‍රී ලංකාවට යාමට ඇති හැකියාව පැහැදිලි කළා."
"තමාට Re-entry විසා බලපත්‍රය නොගෙන ශ්‍රී ලංකාවට ගියහොත් නැවත පැමිණීමට නොහැකි බවත් පැහැදිලි කර දුන්නා."
"මේ දිනවල බොහෝ ඊශ්‍රයාල කාර්යාල වසාදමා ඔවුන් නිවසේ සිට අත්‍යවශ්‍ය සේවාවන් පමණක් සිදු කරනවා. මේ අතර ව්‍යාපාරික කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ සිට පැමිණි කිහිපදෙනෙකු ශ්‍රී ලංකාවට යාමට නොහැකිව ඊශ්‍රායලයේ රැඳී සිටිනවා. ටෙල් අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා ඊශ්‍රායල් ගුවන් අවකශය තවමත් වසා දමා තිබෙනවා."
"ඉදිරි දිනවල ප්‍රහාරවල වැඩිවීමක් විය හැකි බවට විවිධ වාර්තා පළවන අතර තම ආරක්ෂාව සම්බන්ධයෙන් දිවා රාත්‍රියේ සැලකිලිමත් වෙන ලෙස දැනුම්දෙනවා."