මාරක අනතුරු කිහිපයක් - සිව්දෙනෙක් මරුට
June 15, 2025 09:40 am
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් තරුණයෙක් සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තිබේ.
ඊයේ (14) එම අනතුරු සිදුව තිබුණේ මැදවච්චිය, මදුරාගොඩ, හෝමාගම සහ වැල්ලවාය යන පොලිස් වසම්වලදීය.
කරුණෑගල - මාතලේ මාර්ගයේ කහටගහමුල ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයේ පෙරළී ඉදිරියට ඇදී ගොස් එම දිසාවට ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙක් මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.
මේ අතර මැදවච්චිය පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ වැලිඔය හන්දිය අසලදී මැදවච්චිය දෙස සිට රැඹෑව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් ලොරි රථය මාර්ගයේ පෙරළීගොස් ඇති අතර රියදුරු ඇතුළු ලොරි රථයේ ගමන්ගත් පුද්ගලයින් 08 තුවාල ලබා රැඹෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවක් මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවකි.
මෙ අතර හෝමාගම පොලිස් වසමේ කොට්ටාව හෝමාගම මාර්ගයේ කොට්ටාව දෙස සිට හෝමාගම දෙසට ධාවනය වූ කාර් රථයක් පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, හිරිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි අයෙකි.
මේ අතර වැල්ලවාය පොලිස් වසමේ වැල්ලවාය තණමල්විල මාර්ගයේ ආරියසිරි හන්දියේදී ලොරි රථයක් එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් 78 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.