බන්ධනාගාර ඇතුළේ වෙනම අධිරාජ්‍යයක්

බන්ධනාගාර ඇතුළේ වෙනම අධිරාජ්‍යයක්

June 10, 2025   08:33 pm

ජනාධිපති සමාවට මුවාවී අවිධිමත් ලෙස රැඳවියෙකු මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය හෙට (11) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (10) නියෝග කළේය.

මෙහිදී අධිකරණයට කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියාසිටියේ පසුගිය නත්තල් දින සහ නිදහස් දින රැඳවියන් 68 දෙනෙකු මේ ආකාරයෙන්ම අනීතිකව නිදහස් කර ඇති බවය.

වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ මෙලෙස ප්‍රකාශ කළේය,
 
" ස්වාමිනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට ලැබී ඇති විධායක බලයක් වන ජනාධිපති පොදු සමාවට මුවාවෙලා බන්ධනාගාර නිලධාරින් සිය අභිමතය පරිදි අපරාධකරුවන් නිදහස්කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරින් ක්‍රියාකරලා තියෙන්නේ විනිසුරුවන් විදිහට. දඩ නොගෙවීම මත සිරගත කළ වරදකරුවන් බන්ධනාගාර අධිකාරිවරු කොහොමද ගෙදර යවන්නේ? මේක විධායක බලය අවභාවිත කිරීමක් පමණක් විතරක් නෙවෙයි අධිකරණ බලයත් අවභාවිත කිරීමක්. ස්වාමිනි, මීට පෙර රටේ පොලිස්පතිවරයා තමන්ගේ හතුරෙකුට පහරදෙන්න කියලා තම නිලධාරින් යවලා නඩුවක් දාගත්තා. ඊළඟට ආගමන විගමන පාලක ජනරාල්වරයා අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර රිමාන්ඩ් වුණා. දැන් අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම ආයතනයේ ප්‍රධානියා අවිධිමත් ලෙස සිරකරුවෝ නිදහස් කිරීමකට ආධාර අනුබලදීමට අධිකරණය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේක කාලයක් තිස්සේ සිදුවූ ක්‍රියාවලියක්. 
මොවුන් මේ රජයේ ආයතන තුළ කුඩා අධිරාජ්‍යය හදාගන්නවා. ලොක්කෝ ඉන්නේ රාජාසනයේ. හරියට පාතාල කණ්ඩායම් වගේ. ස්වාමිනි, ප්‍රශ්නගත වෙසක් පෝය දවසේ ක්ෂේත්‍ර 04ක් යටතේ, රට වටේ තියෙන බන්ධනාගාර 28කින් ජනාධිපති පොදුසමාව දිය හැකි රැඳවියන් ගැන නිර්දේශ ඇවිල්ලා තියෙනවා. විත්තිකූඩුවේ සිටින මේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම නිර්දේශ අධිකරණ අමාත්‍යාංශයටත්, ජනාධිපති ලේකම් කර්යාලයටත් යොමුකරලා තියෙනවා. ජනාධිපතිවරයාට අනුමැතිය දුන් ලේඛනයේ තිබූ නම් 388 අතරේ අනුරාධපුර බන්ධනාගාරයෙන් නිර්දේශ කරපු නම් 36ක ලැයිස්තුවක් තිබිලා තියෙනවා. නමුත් නිදහස ලැබූ ප්‍රශ්නගත රැඳවියාගේ නම මේ කිසිවක නැහැ. 2024 නත්තලට ජනාධිපති පොදු සමාවට අනුමැතිය නොලද 57 දෙනෙකුත් මුදාහැර තිබෙනවා. 2025 නිදහස් දිනයේ පොදු සමාවට අනුමැතිය නොලද 11ක් මුදාහැර තිබෙනවා. වෙසක් දවයේ එහෙම මුදාහැරපු ගාණ හරියටම කීයද කියලා තාම සොයනවා. මේ සියල්ල සිද්ධවෙන්නේ විනිසුරුවන්ගේ නියෝගයෙන් නොවෙයි. අර මම කියපු බන්ධනාගාර අධිරාජ්‍යයේ රජ්ජුරුවන්ගේ නියමයෙන්. ලක්ෂ 25, 20 දඩ ගෙවාගන්න නොහැකිව සිරගත වූ රැඳවියන් හොරෙන් මේ බන්ධනාගාර අධිකාරිවරුන්ගේ ලේඛනවලට ඇතුළත් වෙනවා. අපි දැන් ප්‍රධානියාගේ ඉඳලා සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙන්නේ. හැමෝම පරිස්සම් වෙන්න. හැමෝගෙම වත්කම් ගැනත් සොයනවා. "

ඒ අනුව විමර්ශන ක්‍රියාත්මක බැවින් සැකකරු ඇප මත මුදාහැරීමට පැමිණිල්ල විරුද්ධවන බවත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණිය මහතා වෙනුවෙන් නීතිඥ දර්ශන කුරුප්පු මහතා ඇප අයැද සිටියේය.

" ස්වාමීනි ජනාධිපති ලේකම් කාර්යාලයේ  චක්‍රලේඛයට අනුවයි මාගේ සේවාදායකයා කටයුතු කර තිබෙන්නේ. වෙසක් දින හෝ නත්තල් දින නිදහස් කරනු ලබන රැඳවියන්ගේ නම් එවනු ලබන්නේ සෑහෙන කාලයකට පෙරයි. ඒ නම් ලැයිස්තු එව්වට පස්සේ ඒ කාලසීමාවේම තවත් පිරිසක් සමාව ලැබීමට සුදුසුකම් ලබනවා. අදාළ චක්‍රලේඛයට අනුව බන්ධනාගාර බලධාරීන්ට හැකියාව තිබෙනවා පසුව සුදුසුකම් ලබන පුද්ගලයින්ගේ නම් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරන්න. එසේ එවනු ලබන නම් අර මුලින් එවන ලැයිස්තුවේ ඇතුළත් වන්නේ නැහැ. වැරදි පුද්ගලයෙක් නිදහස් කරලා තිබෙනවනම් මේ නඩුවට අධිකරණ අමාත්‍යංශ ලේකම් වගේම ජනාධිපති ලේකම්වරයාත් සැකකරුවන් ලෙස නම් වියයුතුයි. අනික මේ නිදහස් කිරීම අනුරාධපුර බන්ධනාගාරය  සිදුකර තිබේනම් ඊට එම බන්ධනාගාර අධිකාරි වගකිවයුතුයි. නමුත්, මගේ සේවාදායකයා ඊට අනුබලදුන් බවට අඹමල් රේණුවක සාක්ෂියක් නැහැ. මගේ සේවාදායකයාට දැනට වැඩ තහනමට ලක්වෙලා තියෙන නිසා විමර්ශනයට බලපෑම් කරන්න ඔහුට  හැකියාවක් නැහැ. එබැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඔහු ඇපමත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා. "

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ නඩුව හෙට දිනයේ යළි කැඳවීමට නියම කරමින් සැකකාර තුෂාර උපුල් දෙණිය මහතා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මේ අතර අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වූ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැති පුද්ගලයා මේවන විට පදිංචි ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවය.