දෙරණාභිවන්දනා පොසොන් නමස්කාරය රුවන්වැලි මහ සෑ රදුන් අභියස දී

දෙරණාභිවන්දනා පොසොන් නමස්කාරය රුවන්වැලි මහ සෑ රදුන් අභියස දී

June 10, 2025   06:53 am

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්නේ "දෙරණාභිවන්දනා" උත්තම පොසොන් නමස්කාරය අද (10) දවස පුරා රුවන්වැලි මහා සෑ රදුන් අභියස දී පැවැත් වේ.

සම්බුද්ධ පූජාව සහ සීල සමාදානය සමඟින් ආරම්භ වූ පෝදා වැඩසටහන සජීවීව ටීවි දෙරණින් සහ එෆ් දෙරණින් ඔබ වෙත ගෙන එනු ලබයි.

මේ අතර පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

අනුරාධපුර නගරය ආශ්‍රිතව ද විශේෂ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිම ආශ්‍රිතව පැවැත් වේ.

අනුරාධපුර නගරයට පැමිණෙන ජනතාව සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මේ අතර පොසොන් දිනයට සමගාමීව අනුරාධපුර නගරය මූලික කරගෙන විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

ඒ සඳහා විශේෂ රථ වාහන කණ්ඩායම් අනුරාධපුර නගරය ආවරණය වන පරිදි යොදවා ඇති බව වාර්තා වේ.

අනුරාධපුර නගරයට පැමිණීමේ දී සැදැහැවතුන්ට සහ මහජතාවට පීඩාවක් සිදුවන ආකාරයේ රථ වාහන සහ යතුරුපැදි භාවිත නොකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර අනුරාධපුර නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

අනුරාධපුර නගරයේ සිට මිහින්තලය දක්වා ප්‍රවාහන පහසුකම් නොමිලේ සැපයීමට ද කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර පොසාන් උත්සවය වෙනුවෙන් දන්සල් 19,185ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

ඉන් වැඩිම දන්සල් සංඛ්‍යාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි කර ඇති අතර එම සංඛ්‍යාව 2,301කි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දන්සල් 2,114ක් ලියාපදිංචි කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ දන්සල් 1,792ක්, මහනුවර දිස්ත්‍රික්කයේ 1,264ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයේ දන්සල් 1,186ක් ලියාපදිංචි කර ඇති බව වාර්තා වේ.