පැරා මෝටරින් ක්‍රීඩාවට අත්වඇති ඛේදජනක තත්ත්වය

පැරා මෝටරින් ක්‍රීඩාවට අත්වඇති ඛේදජනක තත්ත්වය

June 8, 2025   05:15 pm

බෙන්තර ගඟ ආශ්‍රිතව පවත්වාගෙන ගිය පැරා මෝටරින් ක්‍රීඩාව තහනම් කිරීම හේතුවෙන් එම කර්මාන්තයේ නියුතුවූවන් දැඩි අපහසුතාවකට පත්ව සිටියි.

ඔවුන් පෙන්වාදෙන්නේ පැරා මෝටරින් ක්‍රීඩාව හිටිහැටියේ තහනම් කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගත් බවය.

බෙන්තර ගඟ ආශ්‍රිතව පවතින සුන්දරත්වය නිසාම බෙන්තර, බේරුවල, මොරගල්ල සංචාරක කලාපය විදෙස් සංචාරක ආකර්ෂනය නොමදව දිනාගෙන තිබෙන්නක්.

එම ගඟ ආශ්‍රිතව ක්‍රියාත්මක මෙම පැරා මෝටරින් ක්‍රීඩා පහසුකම, ඒ ආකර්ශනය තවදුරටත් තීව්‍ර කිරීමට හේතුවක් වී තිබේ.

සංචාරකයින්ගේ ඉහළ රුචිකත්වය නිසාම සේවා සපයන්නන් දෙදෙනෙකු මූලිකත්වයෙන් දැනට වසර හතරක කාලයක සිට විදෙස් ගුවන් නියමුවන්ගේද සේවාව ලබාගනිමින් පැරා මෝටරින් ක්‍රීඩාව එහි සිදුකරගෙන ගොස් තිබුණේ තවත් බොහෝ පිරිසකට රැකියා අවස්ථාද සලසමින්. 

නමුත් විදෙස් විනිමය ළඟාකරගත හැකි ඉතා ආකර්ෂනීය ක්‍රීඩාවක් වන පැරා මෝටරින් ක්‍රීඩාව, මේ වනවිට සංචාර සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත නවතා දැමීමට සිදුවූ බව  කර්මාන්තයේ නියුතුවූවන් පවසයි.

කර්මාන්තයේ නියුතු වුවන් චෝදනා කරන්නේ මෙය සංචාරක සංවර්ධන අධිකාරියේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ අවශ්‍යතාව මත සිදුකරන ලද්දක් බවය.

"මේ ක්‍රීඩාවේ යම් ශබ්දයක් හෝටල්වලට අවහිරයක් කියලා මෙය නවත්වලා තියෙනවා. අපි සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියා මේ ගැන නිසි විමර්ශනයක් කරන්න කියලා. ඔවුන් ඒකත් ප්‍රතික්ෂේප කරලා නවතා දැමුවා. 

ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය හත් දෙනෙක් වැඩකළා. විදෙස් ගුවන් නියමුවන් දෙදෙනෙක්ට සිටියා. කොලොම්බියාවේ ගුවන් නියමුවෙකුත් අපිත් එක්ක ඉන්නවා. ඔහුගේ රැකියාවත් අහිමිවෙයි කියලා බියෙන් ඉන්නවා. එක් අයෙක් රටෙන් යන්නත් ගියා.
 
තියෙන යානා ඔක්කොම අංගනවල නවත්වලා තියෙනවා. ඒ යානා නිකම් තියෙනවා කියන්නෙත් ඒවා පරිහානියට පත්වීමක්"
යැයි පැවසීය.