කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
June 2, 2025 12:05 pm
ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥවරයෙකුට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීම පිළිබඳව කරුණු දැක්වීම සඳහා හෙට (03) දින එම කොමිසමේ නිලධාරීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නොතීසිය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ජුලි මස 23 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරුණි.
අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥවරයෙකුට කොමිසම හමුවේ පෙනී සිටි ලෙස තම කොමිසම විසින් කළ දැනුම් දීම පිළිබඳව හෙට දින කොමිසමේ නිලධාරීන්ට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා නොතීසි නිකුත් කර තිබෙන බව සඳහන් කළාය.
අල්ලස් පනත යටතේ මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ නිසි බලය සහිත අධිකරණයට පමණක් බවත් ඇය සඳහන් කර සිටියාය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා සඳහන් කළේ මෙම නඩුකරය සමථයට පත්කර ගැනීමට හැකියාව තිබෙන බවය.
අදාළ නීතිඥවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය නොවන බවට අල්ලස් කොමිසම විසින් දැනටමත් දැනුම් දීමක් සිදු කර ඇති බවත් ඒ අනුව පෙත්සම සමතයට පත්කර ගැනීමට හැකියාවක් තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේය.
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.
විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම විසින් කළ දැනුම් දීමට එරෙහිව නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට හෙට (03) දින පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබුණි.