සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන ඇමති හඳුන්නෙත්ති කළ හෙළිදරව්ව

සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන ඇමති හඳුන්නෙත්ති කළ හෙළිදරව්ව

June 1, 2025   08:14 pm

සෙවනගල සීනි කර්මාන්තශාලාව වසාදැමීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත සහ ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (01)ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අවධාරණය කළේය.

ඔහු එහිදී පෙන්වා දුන්නේ සීනි කර්මාන්තශාලාව වසා දැමීමේ අවදානමක් පවතින බවට ගොවීන් යැයි කියාගන්නා පිරිසක් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඇත්තේ ඔවුන්ගේ දේශපාලනික වුවමනා මත බවයි.

ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක් අස්වැන්න භාරගැනීම අත්හිටුවා ඇතැයි මැයි 29 වනදා ප්‍රදේශයේ ගොවීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේය.

ඔවුන් එහිදී කියා සිටියේ කම්හලේ යන්ත්‍රෝපකරණ , මෙවලම් පසුගිය මැයි 21 වනදා සිට අක්‍රීයවී ඇති බවත්, ආයතනය පාඩු ලබන බවත් පවසමින් බලධාරීන් තම අස්වනු මිලට ගැනීම ප්‍රතික්ෂේප කරන බවත්ය.

එම චෝදනා සම්බන්ධයෙන් එදිනම අද දෙරණ ලංකා සීනි සමාගමේ සභාපති සදමාලි චන්ද්‍රසේකර මහත්මියගෙන් විමසූ විට ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර එදින රාත්‍රියේ කර්මාන්ත සහ ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේද සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වැසීයාමේ අවදානමක් නොමැති බවය.

අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ විෂය භාර අමාත්‍යවරයා අදාළ ප්‍රචාරය පිටුපස දේශපාලන වුවමනාවක් ක්‍රියාත්මක බවට චෝදනා කර සිටියේය.

මේ අතර දේශීයව නිෂ්පාදනය කරන දුඹුරු සීනි කිලෝවක් ඉදිරියේදී රුපියල් 236ක මිලකට කම්හල්වලින් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණ කළේය.