අල්ලස් ඉල්ලු සුරාබදු නියාමකවරු දෙදෙනාට බරපතළ වැඩසහිත වසර 28ක සිරදඬුවම්
May 23, 2025 05:32 pm
හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවන් දෙදෙනෙකුට ලිහිල්ව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු සුරාබදු නියාමකවරු දෙදෙනකුට බරපතළ වැඩසහිත වසර 28ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම් වසර හතකින් ගෙවී යා යුතු බවට නියෝග කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මෙම තීන්දුව ලබා දුන්නේය.
2013 වසරේ නොවැම්බර් මස 13 වනදා හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකුට මහාධිකරණයේ නඩු නොපවරා මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඔවුන්ට ගැලවී යාමට අවස්ථාව සලසා දීම වෙනුවෙන් රුපියල් 150,000ක අල්ලසක් ඉල්ලීම සම්බන්ධයෙන් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුරාබදු නියාමකවරු දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම විත්තිකරුවන් දෙදෙනා අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනා හතරකට වරදකරුවන් කරන බව සඳහන් කළේය.
දඬුවම් නියම කිරීමට පෙර අධිකරණයේ හමුවේ කරුණු දක්වූ විත්තියේ නීතිඥවරු මෙම විත්තිකරුවන්ට කුඩා දරුවන් සිටින බවත් ඔවුන්ගේ පවුල් යැපෙන්නේ මෙම විත්තිකරුවන්ගෙන් බවත් සඳහන් කළේය.
ඒ අනුව ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයේ කරුණු දක්වමින් අල්ලස සහ දූෂණය සමාජයෙන් තුරන් කළ යුතු බරපතළ වැරදි බවත් ඒ අනුව සමාජයට ආදර්ශයක් දිය හැකි නීතියේ සඳහන් උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරුවන් මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් කැපවී කටයුතු කළ යුතු පුද්ගලයින් දෙදෙනෙකු බව සඳහන් කළේය.
එහෙත් ඔවුන් එම රාජකාරිය පසෙක ලා මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට උදව් වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි පෙන්වා දුන් විනිසුරුවරයා එබැවින් ඔවුන්ට ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.
එසේ කටයුතු කළහොත් මෙවැනි වැරදි ක්‍රියා සිදුකරන පුද්ගලයින්ට එය රුකුලක් වනු ඇති බවත් විනිසුරුවරයා සඳහන් කළේය.
ඒ අනුව විත්තිකරුවන්ට නීතියේ සඳහන් දැඩි දඬුවම් ලබාදීමට සිදුවන බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව මෙම සිරදඬුවම් නියම කළේය.
ඊට අමතරව එක් එක් විත්තිකරුට රුපියල් 20,000ක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසර දෙකක සිරදඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් කළේය.
සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුරංග සඳරුවන් විජේරත්න සහ සිසිර කුමාර සිල්වා යන නියාමකවරු දෙදෙනාට මෙසේ දඬුවම් නියම වුණි.
කෙසේ වෙතත් රුපියල් පනස් දහසක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනාට එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව ඔවුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් සඳහන් කළේය.