පාකිස්තාන හමුදාපතිට ෆීල්ඩ් මාෂල් තනතුර ප්‍රදානය කෙරේ
සයුරෙන් එතෙර

පාකිස්තාන හමුදාපතිට ෆීල්ඩ් මාෂල් තනතුර ප්‍රදානය කෙරේ

May 23, 2025   03:42 pm

පාකිස්තාන හමුදාපති සෙයිද් අසිම් මුනීර්ට, ෆීල්ඩ් මාෂල් තනතුර නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි.

උත්සවය පැවැත්වුණේ එරට ජනාධිපති අසීෆ් අල් සර්දාරි සහ අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙනි.

පාකිස්තාන සහ ඉන්දියාව අතර මීට සති කිහිපයකට පෙර යුද ගැටුමක් ආරම්භ වූයේ ඉන්දු කාෂ්මීරයට අයත් පෙහෙල්ගාම් කලාපයේ සිදුවූ සාහසික ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුවය.

ඊට දින කිහිපයක පසුව පාකිස්තානයේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉන්දීය හමුදාව පියවර ගත් අතර, පසුබට නොවූ පාකිස්තාන හමුදා ද ඊට දැඩි ප්‍රතිචාර දැක්විය.

ගැටුමේදී දැක්වූ ධෛර්ය අගයමින් පාකිස්තාන හමුදාපති සෙයිද් අසිම් මුනීර්, ෆීල්ඩ් මාෂල් තනතුර දක්වා උසස් කිරීමට එරට රජය දින කිහිපයකට පෙර තීරණය කළේය.

ඒ අනුව හමුදාපතිවරයා වෙත එම තනතුරු ප්‍රදානය පසුගියදා සිදුවුණි.

නිල උත්සවය පැවැත්වුණේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර ජනාධිපති නිල නිවසේදීය.

එම උත්සව අවස්ථාවට ජනාධිපති අසීෆ් අල් සර්දාරි, අගමැති ෂෙබාස් ෂරීෆ්, මෙන්ම දේශපාලන නායකයින් රැසක් ද එක්වුණි.

ඒ පිරිස අතරට පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්, කැබිනට් ඇමතිවරුන්, රජයේ ප්‍රධානීන් මෙන්ම, ජනාධිපති සර්දාරිගේ පුතු වන බිලාවල් භූතෝ සර්දාරි ද අයත් ය.

පාකිස්තාන හමුදා ප්‍රධානියා සැලකෙන්නේ එරට වඩාත්ම බලගතු පුද්ගලයා ලෙසය.

1947 වසරේ නිදහස ලැබීමෙන් පසු ගතවූ කාලයෙන් දශක තුනක් පමණ පාකිස්තානය පාලනය වූයේ ද හමුදාව යටතේය.

කෙසේ නමුත් මෑතකාලීන ඉන්දු පාකිස්තාන යුද ගැටුම හේතුවෙන් වත්මන් හමුදාපති මුනීර්, එරට ජනතාවගේ දැඩි ආදරයට ගෞරවයට පාත්‍ර වී තිබුණි.

වත්මන් හමුදාපති ෆීල්ඩ් මාෂල් මුනීර්, 2027 දක්වා එරට හමුදාපති ධුරය හොබවනු ඇති අතර, ඉන් අනතුරුව තවත් වසර පහකට ඔහුගේ ධුරකාලය දීර්ඝ කිරීමේ හැකියාව ද පවතින බව වාර්තා වේ.