ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දිගින් දිගටම අලාභ ලබලා - COPE

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දිගින් දිගටම අලාභ ලබලා - COPE

May 21, 2025   03:14 pm

ශ්‍රී ජයවර්ධනපුර රෝහල දිගින් දිගටම අලාභ ලබන තත්ත්වයේ පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇත.

මෙහිදී විගණකාධිපති වාර්තා පදනම් කරගනිමින් කෝප් කමිටුව පෙන්වා දුන්නේ මෙම අලාභ ලැබීමට හේතු ගණනාවක් පවතින බවය.

මෙහිදී ඇතැම් රෝගීන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබාගත්තද ඊ‍ට අදාළ ගෙවීම් සිදුකොට නොමැති බව නිරීක්ෂණය වන අතර ඇතැම් රෝගීන්ගෙන් අයකර ගතයුතු මුදල් කපා හැර ඇති බව නිරීක්ෂණය වන බවද කෝප් කමිටුව පෙන්වා දී තිබේ.

එසේම විශේෂඥ සේවා පවත්වාගෙන ගියද එමගින් ප්‍රමාණවත් ආදායමක් රෝහලට ලැබී නොමැති බවද කෝප් කාරක සභාව පෙන්වා දී ඇත.

අදාළ විශේෂඥ සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය උපකරණ රෝහලෙන් ලබාගෙන ඇති බවත්, එම විශේෂඥ සේවා වෙනුවෙන් 2023 වර්ෂයේ මුලු කාර්ය මණ්ඩලය වෙත ගෙවූ වෘත්තීය ගාස්තුව රුපියල් මිලියන 600 පමණ බවත් මෙහිදී කමිටුව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දී ඇත්තේ පූජ්‍ය පක්ෂය සහ රෝහල් සේවකයන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදයක් පවතින බවය.

එසේම විශ්‍රාම ගිය රෝහල් සේවකයන් වෙනුවෙන්ද රුපියල් 4000 සීමාවකට යටත්ව ප්‍රතිකාර ලබාදෙන බව පවසා ඇත.

මේ අනුව කඩිනමින් මෙම අවිධිමත් තත්ත්වය මගහරවා ගැනීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර තිබේ.

තවද මැතිවරණ සමයක් ආසන්නයේ අනුමත නොවූ තනතුරු ප්‍රමාණයක් වෙනුවෙන් පත්වීම් ලබාදී ඇති බවද මෙහිදී කෝප් කාරක සභාව අනාවරණය කළ අතර එම පත්වීම් වෙනුවෙන් ලබාදුන් 35% වැටුප් දීමනා වැඩිවීම ද නීත්‍යානුකූල නොවන බවද පෙන්වා දුන්නේය.

එසේම මෙම නීත්‍යානුකූල නොවන පත්වීම් වෙනුවෙන් වැඩිවීමක් සහිතව වැටුප් ගෙවූවද නීත්‍යානුකූලව පත්කොට ඇති “ලොන්ඩරි පරීක්ෂක” තනතුරක් වෙනුවෙන් වැටුප් ගෙවා නොමැති බවද මෙහිදී පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දී තිබේ.

මේ අනුව මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකොට වගකීම් පැහැරහැර ඇති සියලු නිලධාරීන් වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කමිටුව නිර්දේශ කරන ලදි.

තවද අනීතික ගෙවීම් විශාල ප්‍රමාණයක් සිදුකර ඇති බව නිරීක්ෂණය වන බවත්, ආයතනයේ සේවය කරන සේවක සංඛ්‍යාව, ඔවුන්ට පත්වීම් ලබාදීම සහ වැටුප් ගෙවීම කිසිම ආකාරයකින් අධීක්ෂණය කොට නැති බව නිරීක්ෂණය වන බවත්, මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දුන්හ. 

මේ අනුව සමස්ථ ක්‍රියාවලිය සහ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කොට මාස 2ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කාරක සභාව නිර්දේශ කරන ලදි. 

එසේම අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා විද්‍යුත් ලිපි ලේඛන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කර නඩත්තු කිරීමට 2015 වර්ෂයේදී ලබාදුන් කොන්ත්‍රාත්තුව රෝහල් කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙකුගේ භාර්යාව, අධ්‍යක්ෂවරිය ලෙස සිටින සමාගමක් වෙත ලබා දී ඇති බවත් එම සමාගම ආරම්භ කොට ඇත්තේ අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම‍ට පෙර දිනයේ බවත් මෙහිදී අනාවරණය විය. 

එසේම එක් ව්‍යාපෘතියක් යටතේ ගෙවීම් කරන වාට්ටු සඳහා අඟල් 32 ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍ර 25ක් මිලදීගැනීමට අනුමතිය ලබාගෙන තිබුණද ඊට අනුකූල නොවන ලෙස වැඩි මුදලක් ගෙවා අඟල් 43 ප්‍රමාණයේ රූපවානී යන්ත්‍ර 25ක් මිලදීගෙන ඇති බව මෙහිදී අනාවරණය වූ අතර 2025.04.30 දින වන විට ඉන් රූපවාහිනී යන්ත්‍ර 06 පමණක් භාවිතයට ගෙන තිබූ බවද මෙහිදී කාරක සභාව පෙන්වා දෙන ලදි. 

මීට අමතරව රෝහලේ හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමටද මෙහිදී තීරණය විය.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, එස්. එම්. මරික්කාර්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, අසිත නිරෝෂණ එගොඩ විතාන, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.