ගල්කිස්සේ වෙඩි තැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ගල්කිස්සේ වෙඩි තැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

May 21, 2025   12:09 pm

ගල්කිස්ස පොලිස් වසමේ සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් විමර්ශන සිදුකරමින් පවතින බවය.

ඒ අනුව ඊයේ (20) රාත්‍රී කාලයේදී ගල්කිස්ස, ඕඩියන් ප්‍රදේශයේදී අදාළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 33 ක් වූ ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.