ඉන්ධන බවුසරය පෙරළීමෙන් පාරිසරික ගැටලු රැසක් ?
May 15, 2025 10:24 pm
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,000ක් ප්‍රවාහනය කළ පෞද්ගලික අංශයේ බවුසර් රථයක් පෙරළීමෙන් ඊයේ (14) සිදු වූ අනතුරෙන් ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 13,000ක් පමණ අඩු වී ඇති බව වාර්තා වේ.
එම බවුසරයේ පෙට්‍රල් ලීටර් 13,800ක් සහ ඩීසල් ලීටර් 13,200ක් ලෙස ප්‍රවාහනය කරමින් තිබියදී නුවරඑලිය, කිරිමැටිය මාර්ගයේ ක්ලාන්ට්‍රන් වත්ත ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරළී අනතුරකට ලක්විය.
කෙසේ නමුත් බවුසරයේ පෙට්‍රල් සහ ඩීසල් කාන්දු වීමත් සමග ප්‍රදේශවාසීන් කාන්දු වෙමින් තිබූ ඉන්ධන, බූලිවලට රැගෙන යන අයුරුද දැකගත හැකිවිය.
බවුසරය අනතුරට පත්වන අවස්ථාවේ පැවති දැඩි අයහපත් කාලගුණ තත්වයක් සමග ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉහළ කොත්මලේ ජලාශයට කාන්දු වී ඇත.
අනතුරට පත් බවුසරයේ තිබූ ඉතිරි ඉන්ධන, කොටගල ඛණිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණයේ නිලධාරින් වෙනත් බවුසර් රථ යොදාගෙන ඉන්ධන ඉවත් කරගෙන ඇත.
කෙසේ නමුත් බවුසරය අනතුරට පත් වූ ස්ථානයට පහළින් වූ තේ වතු ගණනාවක වතු කම්කරුවන් පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රවලටද ඉන්ධන එක් වී තිබේ.
මේ පිළිබඳව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරියගේ නියමයෙන් විමර්ශනයක්ද ආරම්භකර ඇත.
ඉන්ධන ප්‍රධාන මාර්ගයේ සහ ජල මූලාශ්‍රවලට මුසු වීම හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුව ඇති බව සඳහන්.